නව ව්‍යවස්ථාව ගැන අවසන් තීරණය 24 වැනිදා

නව ව්‍යවස්ථාව ගැන අවසන් තීරණය 24 වැනිදා

අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන මෙම කමිටුව අවසන් වරට රැස්වූයේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදීය. අගමැතිවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තු නියෝජිතයන් 21 දෙනෙකුගෙන් මෙම කමිටුව සමන්විත වේ.

අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන්නේද නැතහොත් පවතින ව්‍යවස්ථාවට තවත් සංශෝධනයක් ගෙන එන්නේද යන්න සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර අවසන් තීරණයකට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.

විධායක ජනාධිපති ධූරය අහෝසි කරන නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට පොරොන්දු වෙමින් ජනාධිපතිවරයා සහ වත්මන් ආණ්ඩුව බලයට පැමිණ අතර මුල් දිනවලදී ඒ සඳහා ලහි ලහියේ කටයුතු සම්පාදනය කෙරිණි. කෙසේ වෙතත් වසර තුනක් ඉක්ම යනවිට නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් කිසිදු ඉදිරි පියවරක් ගැනීමට ආණ්ඩුව සමත්ව නැත. එය පසෙක තබා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයන් තෝරාගැනීම වෙනුවෙන් එජාප-ශ්‍රීලනිප ඇතුළු ප්‍රධාන පක්ෂ මෙහෙයුම් දියත් කර ඇති අතර ඉන් පැහැදිලි වන්නේ ආණ්ඩුවට හෝ ජනාධිපතිවරයාට හෝ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන ව්‍යවස්ථාවක් ගෙන ඒමට උනන්දුවක් නොමැති බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව විසින් සම්පාදනය කළ අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එ් සම්බන්ධයෙන් දින පහක විවාදයක් ද පැවැත්විණි. නව ව්‍යවස්ථාව පිළිබඳ ක්‍රියාවලියේ ප්‍රමුඛයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත් මහතා පවසන්නේ ව්‍යවස්ථා ක්‍රියාවලිය ඉදිරියට නොයාම සම්බන්ධයෙන් වගකීම ප්‍රධාන පක්ෂ දෙකේ නායකයන් භාරගත යුතු බවයි. එජාප සහ ශ්‍රීලනිප නායකයන් එකඟතාවයකට නොපැමිණෙන තාක් නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් සිදුකරන සාකච්ඡා නිෂ්ඵල බවයි. ඔහු පෙන්වා දෙන්නේ.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු වාර්තාව පිළිබඳව මන්ත්‍රීවරුන් දැක්වූ අදහස්, මහජන අදහස් සහ විද්වත් අදහස් පිළිබඳව 24 වැනිදා රැස්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත අතර ඉන්පසු නව ව්‍යවස්ථාවක් ගෙන එන්නේද නැතහොත් පවතින ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන එන්නේද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙනු ඇත.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ විසින් විධායක ජනාධිපති ධූරය අහෝසි කරන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටී. මේ සඳහා පාර්ශ්ව කිහිපයකින් සහාය ලැබී ඇති අතර තවත් පාර්ශ්ව කිහිපයක් ඒ සඳහා විරෝධය පළකර තිබේ.

UN

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment