කියුබා මාෆියා නායකයා උසාවි ගේනවිටත් විනිසුරුවරුන් ඉවත් වුණා – රාජිත සේනාරත්න

Untitled-1

කියුබාවේ මාෆියා නායකයා අධිකරණය හමුවට ගෙන එන විටද නඩුව විභාග කළ නොහැකි බව කියමින් විනිසුරුවරුන් ඉවත් වූ බවත්, එසේ වූයේ මරණ බිය හේතුවෙන් බවත්, අද ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ නඩු විභාගයෙන් විනිසුරුවරුන් හතර දෙනකු ඉල්ලා අස්වී ඇති බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒඡ් පරිශ්‍රයේ දී අද (07)  පැවැති  දුම්කොළ විරෝධී ජාතික දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. එහිදී අදහස් දැක්වූ රාජිත සේනාරත්න මහතා මෙසේ ද ප්‍රකාශ කළේය. “දුම්කොළ භාවිතය අවම කිරීම ගැන කථා කිරීමට වඩා ක්‍රියා කිරීම ඉතාම වැදගත්. වසර ගණනාවක් අපි කථා කළා. ඖෂධ මිල අඩු කිරීම, දුම්වැටි පාලනය ගැන කථා කළත් සක්‍රීයව සහ දැඩි තීන්දු තීරණ ගත්තේ නැහැ. දුම්කොළ ඇතුලු බෝනොවන රෝග වලින් ලොව පුරා ජනතාවට ඇතිවන රෝග සදහා ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.3 ක් ප්‍රතිකාර කිරිමට වාර්ෂිකව වැය කරනවා. ලෝව පුරා දුම්කොළ සමාගම් මත බදු පනවමින් රටවල් වාර්ෂිකව අයකර ගන්නා බදු ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 249 ක්. ඒ ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවලට අනුවයි. නමුත් මේ පිළිබදව ලොව පුරා සෞඛ්‍ය අමාත්‍යවරුන් අවධානය යොමු කර නැහැ. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙබ් අඩවියක මාධ්‍ය වේදිනියක් පමණක් මෙම තොරතුරු විශ්ලේෂණය කරමින් ලිපියක් ලියා තිබුනා. එහි අවසානයේ සදහන් වුයේ එහෙනම් අපේ සෞඛ්‍ය අමාත්‍යවරයා වීරයෙක් නොවේ ද යනුවෙනි.” “දුම්කොළ විරෝධී සටනේ මුල්ම පනත ගෙනඑනු ලැබුවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා විසින්. ඒ පොදු ස්ථානවල දුම්බීම නතර කිරිමටයි. මම විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වුනත් එම පනතට සහයෝගය ලබාදුන්නා. එම පනතට දුම්කොළ සමාගමෙන් දැඩි බලපෑම් පැමිණියා. හිටපු සෞඛ්‍ය අමාත්‍ය වත්මන් ජනාධිපතිවරයා සිගරට් පැකට්ටුවේ සියයට 80 රූපමය අවවාද ඇතුලත් කිරීමට සුදානම් වුවත්, ඊට පසුගිය රජය ඉඩ ලබාදුන්නේ නැහැ. අමාත්‍ය මණ්ඩලය සංදේශය ඉදිරිපත් කළ දින කැබිනට් මණ්ඩලයේ දී හිටපු ජනාධිපතිවරයා ඊට දැඩි ලෙස විරෝධය පළ කළා. දුම්වැටි තහනම් කිරිම සංචාරක ව්‍යාපාරය කඩාකප්පල් කිරීමේ උත්සාහයක් බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. නමුත් හිටපු ජනාධිපතිවරයාට අභීයෝග කිරීමට හිටියේ කිහිප දෙනෙකු පමණයි. ඒ අයට ආත්ම ශක්තිය ලැබුනේ වමේ ව්‍යාපාරයෙන්. නමුත් වර්තමානයේ ජනාධිපතිවරයා දැඩිලෙස විවේචනය කරනවා. අද වීරයෝ වැඩියි. එදා විරයේ හිටියේ කිහිප දෙනයි. පාරේ යන එක්කෙනත් අද ජනාධිපතිවරයාට අභියෝග කරනවා. මම කැබිනට් මණ්ඩල රැස්වීමේ දී නොබියව ප්‍රකාශ කළා මෙම යෝජනාවෙන් දුම්වැටි තහනම් නොකරන බව. හිටපු ජනාධිපතිවරයා අසාධාරණ විදිහට සෞඛ්‍ය අමාත්‍යවරයා යටපත් කළා.” “අද සමහරු සමාජය ඉදිරියේ වීරයෝ වගේ කථා කරනවා. අපේ රජයේ වැරදි කියමින්. ඒකට ජනමාධ්‍ය යත් සහයෝගය ලබාදෙනවා. ඔවුන් දන්නේ නැහැ රට තිබුන හැටි. නමුත් වත්මන් රජය යටතේ මම අනපනත් ඉදිරිපත් කරන විට ජනාධිපතිවරයා සහයෝගය ලබාදෙනවා. එදා සෞඛ්‍ය අමාත්‍යවරයා දුම්කොළ සමාගම ඉදිරිපිට දී හිටපු ජනාධිපතිවරයා විසින් විත්තිකූඩුවේ නැංගුවා. නමුත් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිය කථා කලේ නැහැ. විත්ති කූඩුවට වෙලා හිටියා. මේ රටේ නීති රීති රැසක් සකස් කරලා තිබෙන්නේ ඔය ඔබලා බනින දේශපාලනඥයින් විසින්. එම නීති රීති තමයි ක්‍රියාත්මක කරන්නේ. නීතිපති දෙපාර්තමේන්තුව හදන නීති නොවෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයට පුළුවන් අර්ථකථන ලබාදීමට පමණයි. පාර්ලිමේන්තුව ගන්නා වූ තීන්දුවක් අභිබවා යාමට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉඩක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණ තින්දුවක් අභිබවා යන්න පාර්ලිමේන්තුවට පුළුවන්. හිටපු ජනාධිපතිවරයා දුම්කොළ සමාගම සමග සාකච්ඡා කර එම යෝජනාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කළා. පාර්ලිමේන්තුව විසින් ගනු ලැබූ සියයට 80 රූපමය අවවාද තීන්දුව බාල්දු කරමින් දුමිකොළ සමාගම ජය ගත්තා. පාර්ලිමේන්තුවත් බාල්දු වුනා. නමුත් අද ශ්‍රේෂ්ඨාධිකරණය කේසර සිංහ ලීලාවෙන් කටයුතු කරනවා. හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ඊලග නඩු විභාගය නොවැම්බර් මාසය දක්වා කල් දමලා. විනිසුරුවරුන් 04 දෙනෙකු නඩු විභාගයෙන් ඉවත් වෙලා. නමුත් ලෝකයේ නඩුවක් විභාග කිරීමට නොහැකි බව ප්‍රකාශ කරමින් විනිසුරුවරුන් ඉවත් වුනේ කියුබාවේ සිටි මාෆියා නායකයා අධිකරණයට ගෙන එන විටයි. එලෙස ඉවත් වුයේ මරණ බිය හේතුවෙන්. නමුත් අපේ රටේ විනිසුරුවරුන් 04 ක් ඉවත් වුනේ මොන බිය නිසා ද? එයයි යථාර්ථය. පසුගිය ජනාධිපතිවරණයේ දී සියයට 80 රූපමය අවවාද දින 100 තුල ඉදිරිපත් කරන බවට අපි පොරොන්දු වුනා. එය ඉටු කළා. රූපමය අවවාද සියයට 80 පැනවීම මීට පෙර සිදු කළේ නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය ලබාගත් පළමු රට වන්නේ ශ්‍රී ලංකාවයි. නමුත් පසුගිය රජයේ තින්දු තීරණ නිසා එය සිදු කරන්න බැරි වුනා."
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment