'දිළිඳුකම තුරන් කර, සංවර්ධන වැඩපිළිවෙළකට මුලපුරනවා' - ජනපති.



දීර්ඝ කාලීන සැලසුම් ඔස්සේ විධිමත් සංවර්ධනයකට මුලපුරන හා රටේ ජනතාවගේ දිළිඳුකම තුරන් කරන මෙන්ම සැමට සමාන ප‍්‍රතිලාභ හිමිවන  සංවර්ධන වැඩපිළිවෙළකට රජය මේ වන විට අවතීර්ණ වී තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කෙළේ, පොළොන්නරුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බලමණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට අද (24දා)  පොළොන්නරුවේදී එක්වෙමිනි.

රටේ ජනතාවගේ දිළිඳුකම පිටුදැකීම සඳහා ආරම්භ කළ ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ඉතා ප‍්‍රායෝගික වැඩපිළිවෙළක් ලෙස මේ වන විට දීප ව්‍යාප්තව කි‍්‍රයාත්මක වන බවත් ග‍්‍රාමීය සංවර්ධනයේ පෙරළියක් සිදු කෙරෙන ගම්පෙරළිය වැඩසටහනද ඉදිරියේදී දීප ව්‍යාප්තව කි‍්‍රයාවට නංවන බවත් පැවසීය.

මෙරට ව්‍යවසායකයන් නගාසිටුවීම වෙනුවෙන් නව ණය යෝජනා ක‍්‍රමයක් හඳුන්වාදීමට රජය පියවර ගෙන ඇති අතර ඒ තුළින් විරැකියාවට පිළියම් ලැබෙනවා සේම දේශීය නිෂ්පාදනයේ නව ප‍්‍රබෝධයක් ඇතිවනු ඇති බවද හෙතෙම පවසයි.

එමෙන්ම දේශීය පලතුරු ගොවියා මුහුණපා ඇති ගැටලු පිළිබඳ අවධානය යොමු කරමින් ආනයනය කෙරෙන පලතුරු සඳහා බදු මුදල් ඉහළ නැංවීමට රජය තීරණය කර ඇති බවත් එම වැඩපිළිවෙළ ලබන මාසයේ සිට කි‍්‍රයාත්මක කරන බවත් පැවසීය.

දේශීය පළතුරු සඳහා වැඩි වටිනාකමක් ලබාදීම වෙනුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ඊට අදාළ විශේෂඥයන් පිළිගත් සහ නම් කරන සියලුම පලතුරු ගස් බලපත‍්‍ර නොමැතිව කැපීම තහනම් කිරීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී කි‍්‍රයාවට නැංවීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment