නවකවදයට වසර 10ක් හිරේ!


නවකවදය දෙන සිසුන්ට තරාතිරම නොබලා නවකවද පනත යටතේ නීතිය ක්‍රියාත්මක කරන ලෙස සියලු පොලිස් ස්ථානවලට උපදෙස් දී ඇතැයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

නවකවද පනත යටතේ චෝදනා ලද්දකුට ඇප ලබා දීමට මහේස්ත්‍රාත්වරයකුට වුවද බලයක් නොමැති බව කී රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් වැරදිකරුවකු වුවහොත් වසර 10කට සිරගත කිරීමේ බලය පවතින බව ද අවධාරණය කළේය.

මෙතෙක් නිද්‍ර­ාශීලීව තිබුණු 1998 නවකවද පනත මේ වන විට පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වන බව ද සියලු විශ්වවිද්‍යාලවල උපකුලපතිවරු හා පාලක සභා ඒ වෙනුවෙන් කටයුතු කරමින් සිටින බව ද ඇමැතිවරයා පැවසීය.

හෙතෙම මේ අදහස් පළ කළේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ දී පැවැති මාධ්‍ය හමුවකට ඊයේ (30) එක් වෙමිනි.

සිසුන්ගේ විනය නොහදා විශ්වවිද්‍යාල සංවර්ධනය කිරීම හා පවත්වාගෙන යාම ඉතා අසීරුවී තිබෙන බැවින් නවකවදය සම්බන්ධයෙන් අනුකම්පා විරහිතව කටයුතු කරන්නට සිදු ව තිබෙන බව ද හෙතෙම මෙහිදී සදහන් කළේය.

මෙරට ක්‍රියාත්මක වන නවකවදය අප්‍රිකාවේ ගෝත්‍රික ජනතාව අතරවත් දකින්නට නැති ම්ලේච්ඡ ලිංගික හිංසනයක් බවට පත් ව තිබෙන බවත් මේ නිසා විශ්වවිද්‍යාල හැර යන සිසුන් මෙන්ම සිය දිවි නසා ගැනීමට උත්සහ දරන සිසුන් ද සිටින බවත් කීවේය.

ඇතැම් විශ්වවිද්‍යාලවල සිසුන් කුලී පදනම මත විශ්වවිද්‍යාලයෙන් පිටත නිවාස ලබා ගෙන වදකාගාර පවත්වාගෙන යමින් නවක සිසුන්ට ශාරීරික හා ලිංගික හිරිහැර සිදු කරන බවත් එවැනි පැමිණිලි රැසක් අමාත්‍යාංශයට හා කොමිසන් සභාවට ලැබී තිබෙන බවත් පැවසීය. එම සිසුන්ට මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කර තිබෙන බව කී ඇමැතිවරයා, නවකවදය සම්බන්ධයෙන් දැනුම් දීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව දුරකතන අංකයක් හදුන්වා දී තිබෙන බවත් කීවේය. එමෙන්ම නියාමක ව්‍යාපෘතියක් ලෙස ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ හදිසි ඇමැතුම් ඒකකයක් ඇති කර තිබෙන අතර ඉදිරියේදී එය සෑම විශ්වවිද්‍යාලයකම ස්ථාපිත කරන්නට කටයුතු යොදන බව ද කීවේය.

නවකවදය පිටුපස සිටින්නේ දේශපාලන වශයෙන් බංකොලොත් වූ සහ රටටත් විනයක් වු දේශපාලන කණ්ඩායමක් බවත් අහිංසක දරුවන් බිලි බා ගෙන සල්ලි වියදම් කරමින් සිදු කරන දේශපාලනයක් මේ පසුපස තිබෙන බවත් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ අවස්ථාවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා, උපසභාපති පී.එස්.එන්. ගුණරත්න, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක, නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ නිසි බලධාරී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උමා කුමාරස්වාමී, ත්‍රීකුණාමල මණ්ඩපාධිපතිවරයා ඇතුළු මහත්ම මහත්මීහු සහභාගී වුහ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment