තවත් මූල්‍ය සමාගමක් කඩාවැටෙයි : ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් අවලංගුයි.



2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් වන ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය, 2008 වසරේ සිට මූල්‍යමය අර්බුදයකට මුහුණ දීමට සිදු ව ඇත. මෙම ආයතනයේ තැන්පත්කරුවන්ට පසුගිය වසර දහය පුරා ම සිය තැන්පතු මුදල් නැවත ලබා ගැනීමට නො හැකි වී ඇත. විවිධ උපායමාර්ග හරහා ආයතනය නැවත නගා සිටුවීම සඳහා ගත් සියලු ප්‍රයත්නයන් අසාර්ථක වී ඇති අතර, වර්තමානයේ පවතින තත්ත්වයෙන් මෙම සමාගම අඛණ්ඩ ව පවත්වාගෙන යෑම තැන්පත්කරුවන්ගේ සහ අනෙකුත් පාර්ශවයන්ගේ යහපතට තවදුරටත් හානි වනු ඇත.

එ බැවින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය වෙත නිකුත් කළ බලපත්‍රය, 2018 ජූලි මස 25 දින සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව, එම දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයට 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ මුදල් ව්‍යාපාර කටයුතු කර ගෙන යෑමට අවසරයක් නොමැත.

තව ද, 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත යටතේ කල්බදු මූල්‍යකරණ ආයතනයක් ලෙස ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය වෙත නිකුත් කළ ලියාපදිංචි කිරීමේ සහතිකය 2018 ජූලි මස 25 වන දින සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නො වන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් තීරණය කර ඇත. ඒ අනුව, එම දින සිට බලපැවැත්වෙන පරිදි නව මූල්‍ය කල්බදු පහසුකම් ලබා දීම සඳහා ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයට අවසර නොමැත.

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය විසින් පවතින රෙගුලාසිවලට අනුව රක්ෂිත තැන්පත්කරුවන්ට, රුපියල් ලක්ෂ 6ක (රු. 600,000/-) උපරිමයකට යටත් ව රක්ෂිත වන්දි මුදල් ගෙවීමට අවශ්‍ය කටයුතු කරනු ඇත. තව ද, ආයතනය ඈවර කිරීමේ ක්‍රියාවලියේ දී හිමිකම් පෑමේ ප්‍රමුඛතා අනුපිළිවෙලට යටත් ව තැන්පත්කරුවන්ට තමා වෙත ලැබිය යුතු මුදලින් යම් ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි වනු ඇත.

ආයතනයේ සියලු ම ණයගැතියන් විසින් ගෙවීමට ඇති ණය මුදල් ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය විසින් දන්වා සිටිනු ලබන බැංකු ගිණුමක් හරහා ආයතනය වෙත ගෙවිය යුතු ය.

ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ අයුතු කළමනාකරණය හා සිදු ව ඇති වංචනික කටයුතු සඳහා වගකිව යුතු පාර්ශ්වයන්ට එරෙහි ව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත දැනුම් දෙනු ‍ලැබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment