කළු ගඟ රන් දියවර ජනපති අතින් මුදා හරි : මහින්දත් ගිහින්?



මොරගහකන්ද, කළුගඟ ජලාශ ව්‍යාපෘතිය යටතේ කළුගඟ ජලාශයේ ජල පිරවීම අද (23) පළමු වරට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

කළුගඟ ලග්ගල, පල්ලේගම ප්‍රදේශයෙන් හරස් කරමින් කළුගඟ ජලාශය නිර්මාණය කෙරෙන අතර ජලාශයේ ධාරිතාව ඝණමීටර් දස ලක්ෂ 248ක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ජලාශයෙන් කළුගඟ පහල නිම්න ප්‍රදේශයේ නැවත පදිංචි කරනු ලබන පවුල් 3000ක් සදහා ජලය සැපයෙන බව සඳහන්ය.

ජලාශයේ ජල පිරවුම් මංගල්‍යයට අමතරව අද දිනයේ මොරගහකන්ද, කළුගඟ ජලාශ සම්බන්ධ කෙරෙන උමං සහිත ඇල මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි.

මහින්දත් ගිහින්?

මේ අතර අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මොරගහකන්ද ව්‍යාපෘතිය ගුවනේ සිට නිරීක්ෂණය කරන සේයාරුවක් සමාජ මාධ්‍ය වෙත ද නිකුත් වී තිබේ.


කළුගඟ ජලාශය Highlights 

මොරගහකන්ද සම්බන්ධ අනෙක් මහා ජලාශය කළුගඟ ජලාශයයි. මාතලේ දිස්ති‍්‍රක්කයට අයත් දුම්බර මිටියාවතේ නකල්ස් කඳුවැටි ප‍්‍රදේශයේ කලුපහන ප‍්‍රදේශයෙන් ආරම්භ වන කළුගඟ ලග්ගල- පල්ලේගම ප‍්‍රදේශයේ දී හරස් කරමින් කළුගඟ ජලාශය නිර්මාණය වේ. මෙහි සම්පූර්ණ ධාරිතාවය ඝන මීටර් දස ලක්ෂ 248කි. එනම් අක්කර අඩිවලින් 200,880 කි. මෙම ජලාශයේ ප‍්‍රධාන වේල්ලේ දිග මීටර් 618 ක් වන අතර උස මීටර් 68කි. වේල්ලේ මුදුණත පළල මීටර් 8ක් වේ. මෙහි අනෙකුත් සැඳලි වේල්ල ජලාශයට දකුණු පස ඉදිවන අතර එහි දිග මීටර් 28ක් වන අතර උස මීටර් 719කි. ජල පෝෂක ප‍්‍රදේශය වර්ග කි.මි 128 ක් වන අතර ජලාශයේ වර්ග ප‍්‍රමාණය වර්ග කි.මි. 14.5 කි.

කළුගඟ පහළ නිම්න ප‍්‍රදේශයේ නැවත පදිංචි කරනු ලබන පවුල් 3,000 ක් සඳහා කළුගඟ ජලාශයෙන් ජලය සැපයෙන අතර, පැරණි හත්තොට අමුණෙන් ජලය ගෙන ගොස් සංවර්ධනය කරන ලද අක්කර 2,000ක පමණ ප‍්‍රමාණයක් තිරසරව වගා කිරීම සඳහා අවශ්‍ය ජලය සැපැයීමෙන් අනතුරුව අතිරික්ත ජල ප‍්‍රමාණය මොරගහකන්ද ජලාශය වෙත නිකුත් කිරීමට සැලසුම් කර ඇත.

මොරගහකන්ද – කළුගඟ ජලාශ සම්බන්ධ කෙරෙන කිලෝ මීටර් 9 ක් දිග උමග සහිත ඇල මාර්ගය මගින් කළුගඟ ජලාශයේ පිරෙන ජලය තත්ත්පරයකට ඝන මීටර් 35ක් මොරගහකන්ද ජලාශයට ගමන් කරයි. මෙම උමගේ පළල අඩි 25 ක් වන අතර, ඇලේ පළල අඩි 25 කි. එය මාස 36 කදී ඉදිකිරීමට අපේක්ෂිත අතර මෙහි සියලු සැලැසුම් පරිසර හිතකාමී අයුරින් නිර්මාණය වීම විශේෂත්වයකි.

කළුගඟ ජලාශය නිර්මාණය වීම හේතුවෙන් මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියේ ඉහළ ඇළහැර ඇළ මගින් මහකනදරාව දක්වා ගෙන යන ජල ප‍්‍රමාණය හා පැරැණි අඹන් ගඟ, යෝධ ඇළ හරහා මින්නේරිය, ගිරිතලේ කවුඩුල්ල, කන්තලේ දක්වා ගෙන යන ජල ප‍්‍රමාණය තවත් වර්ධනය වී ඒ ප‍්‍රදේශවල කෘෂිකර්මික සංවර්ධනය තව දුරටත් පුළුල් වේ. මේ හැර පැරණි අඹන් ගඟ ඔස්සේ බෝවතැන්න ජලාශයේ සිට මොරගහකන්ද ඇළහැර අමුණ ප‍්‍රදේශයෙන් ගලා ගිය ජල ප‍්‍රමාණය වයඹ ප‍්‍රදේශයේ පවුල් 40,000 කට පමණ වසර පුරා තිරසර ලෙස වගා කිරීමටත් අනෙකුත් පානීය හා කර්මාන්ත සඳහා අවශ්‍ය ජලය සැපැයීමටත් හැකි වනුයේ කළුගඟ ජලාශයේ ජලය මොරගහකන්ද ජලාශය වෙත සැපැයීමට හැකි වීම නිසාය.

මහවැලි ව්‍යාපාරයෙන් පසු

මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතිය මගින් මෙගා වොට් 25 විදුලි බල ධාරිතාවක් ජාතික විදුලබල පද්ධතියට එක් කෙරේ. 

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට බහු කාර්ය ව්‍යාපෘතියකින් ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 25ක් එක් වේ.

ඒ සමගම මීටර් 845ක් දිග මොරගහකන්ද මහා වේල්ලේ කෙළවර මහ කළු ගලේ නෙළන ලද අඩි 27 ක් උස අවුකන බුදු පිළිමයේ අනුරුව වන්දනා මාන සඳහා නිරාවරණය වේ.

එමෙන්ම මොරගහකන්ද ජලාශය කුලසිංහ ජලාශය ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් නම් කරනු ලැබීම සිදු වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment