‘කාමරයක සිර කර මාව මරන්න උත්සාහ කළා‘- අර්ජුන


බීමතින් පොලු මුගුරු අතැතිව කළහකාරී ලෙස හැසිරුණු පිරිසක් තමා මරා දමන්නට උත්සාය කළ බවත්, කලහකාරී පුද්ගලයෙකු ඇමැති ආරක්ෂකයකුගේ ගිනිඅවිය උදුරාගැනීමට තැත් කිරීමේදී එය වැලැක්වීමට
ආරක්ෂක නිලධාරියා වෙඩි තබා ඇති බවත් ඛනිජ තෙල් සංවර්ධන හිටපු ඇමැති අර්ජුන රණතුංග මහතා පැවසීය.

පැය තුනකට අධික කාලයක් කාමරයක සිර කර සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකායෙන් පැමිණ තමා බේරා ගත් බව ද, සීසීටීවී දර්ශන පරීක්ෂා කළහොත් සත්‍ය හෙළිදරව් වන බව ද රණතුංග මහතා කීවේය.

අර්ජුන රණතුංග මහතා මේ බව පැවසුවේ අද (28) රාත්‍රී කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. රණතුංග මහතා මෙසේ ද පැවසීය.


‘‘මම විදේශ ගතවෙලා ඉඳලා ලංකාවට ආවේ අද (28) උදෑසනයි. මගේ අමාත්‍යංශ කාර්යාලය තිබෙන්නේ ඛනිජතෙල් සංස්ථා ගොඩනැගිල්ලේ හතරවැනි මහලේ.  නිල නිවාසය තිබෙන්නේ කොලොන්නාවේ. මම විදේශගත වෙද්දි නිලනිවාසයේ යතුරු නිල කාර්යාලයේ තියලයි ගියේ. අද (28) උදෑසන අමාත්‍යංශ ලේකම්වරයාට කතා කර දැනුම්වත් කර නිල නිවාසයේ යතුරු ටික ගැනීමට ඛනිජ තෙල් සංස්ථාවේ කාර්යාලයට යන්න ගියා. තෙල් සංස්ථා පරිශ්‍රයේදී පොහොට්ටුවේ නාගරික මන්ත්‍රීවරයකු ඇවිත් කෑගැහුවා. පසුව ආරක්ෂකයන් ඔහුව ඉවත් කළා.

ඊට ටික වෙලාවකට පස්සේ වැඩතහනමට ලක් වෙලා ඉන්න වෘත්තීය සමිති නායකයෙක් සමග බීමතින් විශාල පිරිසක්  පොලු මුගුරු අරගෙන ආවා. තෙල් සංථාවේ ආරක්ෂක නිලධාරීන් සිටියදී  වැඩ තහනම් කළ කෙනෙක් සහ බීමතින් සිටින අය ඇතුළට ආවේ කොහාමද මම දන්නේ නෑ. ඔවුන් කෑ ගැහුවේ මාව මරනවා කියලයි.

මාව කාමරයකට දාලා හිර කළා. ආරක්ෂකයන් හිටියේ එළියේ. ඔවුන් දොර කඩාගෙන ඇතුළට එන්නත් උත්සාහ කළා. එක් පුද්ගලයෙක් ආරක්ෂකයකුගේ ගිනි අවියක් උදුරාගන්න උත්සාහ කර තිබෙනවා. ඔහු එය උදුරාගත්තා නම් මට වෙඩි තබනවා. එය වළැක්වීමටයි ආරක්ෂකයා වෙඩි තියලා තියෙන්නේ. ඇමැති ආරක්ෂකයන්ගේ වගකීම තමයි මාව බේරන එක.

මම වෙඩි තියන්න කිව්වා කියන එක අසත්‍යක්. මම හිටියේ කාමරය ඇතුළේ.  පැය තුනකට වඩා මාව කාමරයක හිරකරගෙන හිටියා. පොලිස් විශේෂ කාර්ය බළකායෙන් පැමිණ දැඩි උත්සාහක් දරා මා  නිරුපද්‍රිතව බේරා ගත්තා. මෙය සැලසුම් සහගත දෙයක්. බොරැල්ලේ ඉන්න සංවිධායකලා තමයි බොන්න දීලා අවුස්සන්නේ. මාට මොනවා හරි වුණා නම් කවුරුවත් අහන එකක් නෑ කවුද අර්ජුනව මැරුවේ කියා. මට එක්සත් ජාතික පක්ෂයේ වගේම ඒකාබද්ධ විපක්ෂයෙත් පිරිස් කතා කළා. ප්‍රශ්නය දුරදිග යයි කියලා එන්න එපා කියා මම ඔවුන්ට දැනුම් දුන්නා. ‘‘ යැයි ද රණතුංග මහතා කීවේය.

(සටහන -තරිඳු ජයවර්ධන )
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment