පාසල් ගුරුවරියක මරුදුටු දකුණු අධිවේගයේ මාරක රිය අනතුර

එකම පවුලේ පිරිසක් ගමන් ගත් වෑන් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩදී (කිලෝ මීටර් තිස් තුනයි දශම හයේදී) ඊයේ (26දා) අලුයම නාම පුවරුවක කොන්ක්‍රීට් කණුවේ ගැටීමෙන් මව මියගොස් පියා හා දරු තිදෙනා බරපතළ තුවාල ලබා ඇතැයි දක්ෂිණ අධිවේගී රථ වාහන පොලිසිය කියයි. අනතුරින් මියගොස්
ඇත්තේ අක්මීමණ ජනාධිපති විදුහලේ ගුරුවරියක වූ ගාල්ල වලහන්දූව - සේනානායක මාවතේ පදිංචිව සිටි නිර්මලා කුමුදුනී හෙට්ටිආරච්චි (48) නම් තිදරු මවකි.

ඇයගේ සැමියා වූ ගාල්ල දුම්රිය ආරක්‍ෂක අංශයේ සැරයන් ආනන්ද ලාල් මහතාත්, රුහුණ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන දියණිය (22), ගාල්ල පෞද්ගලික සමාගමක සහකාර කළමනාකරුවකු වූ පුතා (25) හා අක්මීමණ ජනාධිපති විදුහලේ ඉගෙනුම ලබන 14 හැවිරිදි දියණියත් අනතුරින් බරපතළ තුවාල ලැබූවන් බව පොලිසිය කියයි. මියගිය ගුරුවරියගේ ඥාතීන් කිහිපදෙනකු සමඟ පෙරේදා (25දා) මහනුවර දළදා මාලිගාව වැඳ පුදා ගැනීමට ගොස් යළි ඥාතීත්ව බොරලැස්ගමුව ප්‍රදේශයේ නිවෙසට ඇරලවා නැවත ගාල්ල වලහන්දුව නිවස වෙත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිස් නිලධාරීයෙක් පැවැසීය.



අනතුර වන අවස්ථාවේ මියගිය ගුරුවරීයගේ පුතා වෑන් රථය පදවා ඇති අතර සැමියා ඉදිරිපස අසුනෙත් ගුරුවරිය හා වැඩිමහල් දියණිය වෑන් රථයේ ඉදිරිපස අසුනට පිටුපස අසුනෙත් බාලම දියණිය පිටුපසම අසුනේත් සිට ඇති අතර ඇය නින්දේ පසුවී ඇති බව පොලිසිය කියයි. කහතුඩුව අධිවේගී පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට වෑන් රථය යොමු කර ගාල්ල නිවෙස බලා පැමිණෙමින් සිටියදී දොඩංගොඩ පිටවීමේ පිවිසුමට ඇති දුර සඳහන්ව තිබෙන නාම පුවරුවක කොන්ක්‍රීට් කණුවේ වෑන් රථය ගැටී මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය
සිදු කළ මූලික පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

අනතුරක් සිදු වූ බැව් වාර්තා වූ වහාම එම ස්ථානයට පැමිණි ගැලනිගම අධිවේගී රථ වාහන පොලිසියේ නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් හා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් වහා ක්‍රියාත්මක වී අනතුරින් සුන්බුන් ගොඩක් බවට පත් වී තිබූ වෑන් රථයේ සිටි මව හා දියණියන් දෙදෙනා දැඩි පරිශ්‍රමයක් දරා පිටතට ගෙන බාල දියණිය හොරණ මූලික රෝහලටත් මව හා වැඩිමහල් දියණිය කළුතර නාගොඩ රෝහලටත්, ඇතුළත් කිරීමට පියවර ගනු ලැබූ බව, පොලිස් නිලධාරීයෙක් පැවැසීය.

වෑන් රථයේ ඉදිරිපස කොටස් නාම පුවරුවේ කොන්ක්‍රීට් කණුවට සිර වී තිබීම හේතුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සෙසු නිලධාරීන්ගේ සහාය ඇතිව පැය එකහමාරකට අධික කාලයක් අධි පීඩන යන්ත්‍ර ආධාරයෙන් වෑන් රථයේ තහඩු කපා බරපතළ තුවාල ලබා ඒ තුළ සිර වී සිටි පිය පුතු දෙපළ දැඩි වෙහෙසක් දරා ඉවතට ගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත. අනතුරින් ලැබූ බරපතළ තුවාල සහිතව රෝහල් ගත කළ මව වූ ගුරුවරිය මඳ වේලාවකට පසු මියගිය බව රෝහල් ප්‍රකාශකයකු පැවැසීය.

කහතුඩුව අධිවේගී මාර්ගයෙන් වෑන් රථය අධිවේගී පිවිසුමට යොමු කර මඳ වේලාවකට පසු රියැදුරු ලෙස කටයුතු කළ පුතු අමතා ඇති පියා නිදිමත නම් ගැලනිගම පිවිසුමෙන් වෑන් රථය පිටතට ගෙන විවේක ගන්නා යැයි පවසා තිබූ බවත්, පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

-එම්.සී.පෙරේරා-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment