කොට්ටාව ධර්මපාල විද්‍යාලය අසළ වෑන්-යතුරුපැදි අනතුරින් 11 හැවිරිදි සිසුවිය මරුට

කොට්ටාව -හොරණ පාරේ වූ රිය අනතුරකින් යතුරුපැදියක ගමන් ගත් මව, පියා හා දියණිය රෝහල් ගත කිරීමෙන් පසුව දියණිය මියගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.  මියගොස් ඇත්තේ කොට්ටාව, කුලසෙවණ පාර, අංක 672/1හි පදිංචි සකුණි සංකල්පනී 11 හැවිරිදි පාසල් දැරියක් බව පොලිසිය කියයි.
මියගිය දියණියගේ පාසලේ පැවැති ශ්‍රමදානයක් සඳහා 30 වැනිදා උදෑසන 9ට පමණ යතුරුපැදියකින් පියා, මව සමඟ මියගිය දියණියද ගොස් ඇතැයි පොලිසිය පවසයි.


එසේ යමින් සිටියදී කොට්ටාව හොරණ පාරේ ධර්මපාල විද්‍යාලයට මිටර් 200ක් පමණ තිබියදී මත්තේගොඩ දෙස සිට කොට්ටාව දෙසට එමින් සිටි වෑන් රථයක යතුරුපැදිය ගැටී වෑන් රථයේ වම්පස රෝදයට යතුරුපැදිය යටවී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි. අනතුරින් පසුව පියා, මව හා දියණියට හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අසාධ්‍ය තත්වයේ සිටි පාසල් දැරිය ශල්‍යකර්මයකට භාජන කිරීමට යමේදී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. දැරිය උපතින්ම ශ්වසන ආබාධයක් හේතුවෙන් කෘත්‍රිම ශ්වසනයකින් හුස්ම ගැනීම කළ අයකු බව පැවැසේ.

අනතුරින් තුවාල ලැබූ පියා හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්වය සාමාන්‍ය බව පැවැසේ. අනතුරින් පසුව රියැදුරු පලා යෑමට සැරසෙද්දී අවට  සිටි පිරිස අල්ලාගෙන පොලිසියට භාර දී ඇත. රියැදුරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය හෝමාගම හදිසි මරණ පරික්‍ෂක සාමනිසුරු බී.එච්.කේ. චින්තක උදය කුමාර මහතාට කිරීමට නියමිතව තිබිණි.


-හෂානි පුෂ්පික-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment