සිරිසේන - මහින්ද සන්ධානය: නොකෙරෙන දීගයක්!


පාර්ලිමේන්තුව තුල අයවැය යෝජනාවලිය පරාජය කිරීමට තිබූ අවස්ථාව ජනාධිපතිවරයාගේ කණ්ඩායම විසින් නැති කර දැමූ බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ චෝදනා කරයි.

විපක්‍ෂ නායකවරයා මෙම අදහස් පල කරන ලද්දේ මාතලේ ප‍්‍රාදේශයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.  

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ   ජනාධිපතිවරයාගේ තීන්දුව නොසලකා ඩිලාන් පෙරේරා, ලක්‍ෂමන් වසන්ත පෙරේරා, නිශාන්ත මුතුහෙට්ටුගම, ශ‍්‍රියානි විජේවික‍්‍රම යන සිවු දෙනා ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න කටයුතු කිරීම ගැන තමන් සතුටු වන බවය.

අවස්ථාවාදී සම්බන්ධයක් දෙදරා යන ලකුණු!

විපක්ෂ නායකවරයාගේ මෙම අදහස් දැක්වීම සම්බන්ධව ප්‍රතිචාර දක්වන විචාරකයන් පෙන්වා දෙන්නේ සිරිසේන - රාජපක්ෂ සන්ධානය මේ වන විට ඉරණම් සහගත අන්තය වෙත පැමිණෙමින් තිබෙන බවක් පෙනෙන්නට ඇති බවය. එහෙත් එය බලය අඛණ්ඩ කරගැනීම වෙනුවෙන් දෙපාර්ශවයම මුල්වූ අවස්ථාවාදී එළඹුමක් මිස අන් කිසිවක් නොවන බැවින් එය අවස්ථාවාදී දේශපාලනය ගැන නිරීක්ෂකයන්ට යමක් ඉගෙනගත හැකි සම්බන්ධයක් මිස මේ කිසිවක් බරපතල ලෙස ගත යුතු නැති බවද ඔවුන් පෙන්වා දෙයි.

එසේම බලයක් නොමැතිව සිරිසේන ජනාධිපතිට රාජපක්ෂ කඳවුර තුළ සිටීම කිසිසේත් සිදුවිය හැක්කක් නොවන බවත් දෙපාර්ශවයම හීනමානය පෙරමුණේ තබා කටයුතු කිරීම ඊට දැඩිව බලපාන බවද ඔවුන් අවධාරණය කරයි.

ඒ අනුව රාජපක්ෂවරුන් මෙන්ම සිරිසේන පාර්ශවයද මේ වන විට අලුත් ගමනක් ගැන නැවත සිතන්නට සිදුවන තත්ත්වයකට පත්ව ඇති බවද විචාරක අදහස වී තිබේ.

නොකෙරෙන දීගයක්

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර නව සංධානයක් ගොඩ නැගීමට දරන උත්සාහයට පොදුජන පෙරමුණේ හා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්, පළාත් පාලන, පළාත් පාලන නියෝජිතයන් සහ පාක්ෂිකයින් එහි නායකයින්ට දැඩි විරෝධයක් දක්වන බව වාර්තා වේ.

ඊට හේතුව ප්‍රධාන අවස්ථා හතරකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශ්වාසය කඩ කර තිබියදී යළිත් එම උගුලේම වැටීමට යාමයි. මේ සම්බනධයෙන් පොදුජන පෙරමුණේ ප්‍රභලයකුගෙන් කළ විමසුමකදී කියා සිටියේ එවැනි විරෝධය එළිපිටම එල්ල වී ඇති බව සත්‍යයක් බවයි.

2015 මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කර අගමැති ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයට ලබා නොදෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිවරණයට දින දෙකක් තිබියදී පැවසීමත් අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධය ගෙන ආ විශ්වාසභංගයේදී නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හැසිරී‍මත් අගමැති ධුරයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් කර එක රැයෙන් එම තනතුරට මහින්ද රාජපක්ෂ පත් කිරී‍මෙන් පසු ජනාධිපති බලතල යටතේ ඔහු එම තනතුරේ තබා ගැනීමට හැකියාව තිබියදී යළි රනිල් පත් කිරීමත්, අයවැය දෙවන වර ඡන්දයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අවසාන මොහොතේ හැසිරීමත් යන කරුණු කාරණා දෙස බැලීමේදී යළිත් මුළාවක වැටීමේ අවදානමක් පවතින බැවින් පාක්ෂිකයින්ගෙන් හා මහජන නියෝජිතයින්ගෙන් විරෝධය එල්ල වී ඇති බව එම ප්‍රධානියා සඳහන් කළේය.

දැනට කෙරෙන සාකච්ඡා සාධනීය මට්ටමින් නොමැති තත්ත්වයක් මත සමගිවී සිටින බව පෙන්වා අවසන් මොහොතේ වෙන් වීමෙන් වන අවාසිය වැඩි බව ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් නිදහස් පක්ෂයේ කණ්ඩායමේ අරමුණ වී ඇත්තේ ඊළඟ ජනාධිපතිවරණයටත් අපේක්ෂකත්වය මෛත්‍රීපාල සිරිසේනට ලබා ගැනීම බැවින් ඒ සඳහා පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් හා මහජන නියෝජිතයින්ගෙන් ඊට දැඩි විරෝධාතාවක් දැනටමත් එල්ල වී තිබේ.

පසුගිය 14 වැනි දින මුල් වතාවට දෙපාර්ශ්වය අතර සාකච්ඡාවක් පැවති අතර එහිදී කිසිදු තීරණයකට එළඹීමට නොහැකි වූ අතර යළිත් මෙම 22 වැනි දින දෙවන අදියරේ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.


කෙසේ වෙතත් නිදහස් පක්ෂ පොදුජන පෙරමුණේ සන්ධානගත වීමේ සාකච්ඡා අසාර්ථක වුවහොත් නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනකු පොදුජන පෙරමුණට එක්වීමට නියමිත බවද වාර්තා වේ. අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් මගහැර ගිය අතර එම පක්ෂයේ ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, ශ්‍රියානි විජේවික්‍රම, නිශාන්ත මුතුහෙට්ටිගම ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව අයවැයට විරුද්ධව ඡන්දය ලබා දුන්නේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment