ඕෂධීට දේශපාලන කැපිල්ලක්‌



ටෙලිනාට්‍ය හම්බවෙන්නෙත් නැතිලු
ව්‍යාපාරවලටත් බාධා

නිර්මාණ තුළින් දකිනවාට වඩා අද කලාකරුවන් දේශපාලනීකරණය වීම ඉතා සුලභ දසුනක්‌ වෙලා. ගායන, රංගන හෝ නිවේදන වේවා මේ ඕනෑම විෂයක නිරත වන බොහෝ පිරිසක්‌ මේ හේතුව නිසා අද අපි දකින්නේ දේශපාලන වේදිකාව මතින්. එහෙම දේශපාලන පක්‍ෂයක සාමාජිකාවක වුණු රංගන ශිල්පිණියක්‌ මේ දිනවල මාධ්‍ය ඔස්‌සේ දකින්න ලැබෙනවා. මේ නිසාම ඕෂධීට නිර්මාණ ලැබෙන්නේ නැහැ කියලා අපිට ආරංචියක්‌ ලැබුණා. ඒ වගේම දේශපාලන කැපිල්ලක්‌ තියෙනවා කියලත් සමහරු කියනවා. මේ කතාවේ ඇත්ත නැත්ත දන්නේ ඕෂධී. ඒ හින්දාම අපි ඕෂධීව ඇමතුවා.

ඕෂධීට දේශපාලනය නිසා රංගන ක්‍ෂේත්‍රයේ කැපිල්ලක්‌ ඇතිවෙලා කියන්නේ ඇත්තද?

නිශ්චිතවම කියන්න අමාරුයි. නමුත් එක චිත්‍රපටයකට ආරාධනාවක්‌ ලැබිලා තිබුණා. ඒකේ රූපගත කිරීම් ආරම්භ කරන්න තිබුණේ පසුගිය නමවෙනිදා ඒත් එකපාරටම ඒ ගැන කිසිම ආරංචියක්‌ නැතිව ගියා. ඒ වගේම ටෙලිනාට්‍යය ක්‍ෂේත්‍රයෙත් මාව මගහරින තත්ත්වයක්‌ ඇතිවෙලා කියලා මට දැනෙනවා.

මෙවැනි තත්ත්වයක්‌ ඔබ බලාපොරොත්තු වුණාද?

මම දැනගෙන හිටියා මේක වෙනවා කියලා. නමුත් මම නියෝජනය කරන ආණ්‌ඩුව කාලෙවත් එහෙම වරප්‍රසාද කවදාවත් අරගෙන නැහැ ඒ නිසා අද මේ සිද්ද වෙන දේවල් දිහා බැලුවහම හරි අසාධාරණයි.

ඇත්තද ඔබ ඉදිරිපත් කරපු රූපවාහිනී වැඩසටහනකිනුත් ඉවත් කලා කියන්නේ?

ඔව්. පුද්ගලික නාලිකාවක විකාශය කරපු වැඩසටහනකින් හේතුවක්‌ නැතිව එක පාරටම මාව ඉවත්කළා. හැබැයි එහෙම වුණේ ඒ නාලිකාව රජයට අනුබද්ධ කරගත්තට පස්‌සේ. ඒ නිසා මේ දේවල්වලින් තහවුරු වෙනවා මගේ දේශපාලන ගමන් මගට එල්ල කරන බාධක කියලා. ඒ විතරක්‌ නෙමෙයි මගේ ව්‍යාපාර කටයුතු වලටත් මේ වෙනකොට ප්‍රශ්න ඇතිකරලා තියෙනවා.

මේ දේවල් නිසා ඕෂධී රංගනයෙන් ඈතට යයිද?

එහෙම එක එක්‌කෙනාට ඕන විදිහට මගේ ජීවිතේ වෙනස්‌ කරන මම ඉඩ තියන්නේ නැහැ. පසුබෑම් ඇතිවෙයි. නමුත් ඒ දේවල් පන්නරයක්‌ කරගනිමින් මගේ ගමන මම යනවා. මොකද මේ දේවල් කරන්නේ මගේ ජීවිතේ පැත්තෙන් මඩ ගහන්න දේවල් නැතිනිසා පලිගන්න කරන දේවල් හැටියටයි.

මොකක්‌ද මේ කියන දේශපාලන සම්බන්ධය?

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ කාන්තා බල මණ්‌ඩල සාමාජිකාවක්‌ හැටියට කාන්තාවන් වෙනුවෙන් මුළු මහත් මහජනතාව වෙනුවෙන් අද රටේ උද්ගතවෙලා තියෙන අහිතකර දේශපාලන තත්ත්වය උදෙසා හඬක්‌ නඟන්න උත්සාහ කරනවා.

කලාකරුවන් දේශපාලනය වෙනුවෙන් කඩේ යන එක දැන් ජනප්‍රියවෙලා?

ඒ කඩේ යන අයගෙන් සියයට අසූවක්‌ම තමන්ගේ පුද්ගලික වාසි පතා තමයි මේ ගමනට යොමුවෙන්නේ. ඉතිං සියයට විස්‌සක්‌ තමයි හදවතින්ම අපේක්‍ෂකයාගේ හෝ පක්‍ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් හඬ නඟන්නේ. ඉතිහාසය ගත්තොත් 2010 තමයි මම මුලින්ම නිල් බළකාය හරහා දේශපාලනයට යොමුවෙන්නේ. එදා ඉඳන් අද වෙනකම් අල්පෙනිත්තක තරම් දෙයක්‌ දේශපාලනය හරහා මම ලබාගෙන නැහැ.

ඡන්දය ඉල්ලන්නද කල්පනාව?

වසර කීපයක ඉඳන් මේ දේවල්වලට සම්බන්ධවෙලා හිටියට පූර්ණ කාලීනව දේශපාලනයට යොමුවුණේ වසර දෙකක වගේ කාලයක ඉඳන්. ඡන්දෙ ඉල්ලයි, හැබැයි ඒකට තවම නිශ්චිත කාලයක්‌ නැහැ.

දිනයි කියලා හිතනවාද?

කියන්න බැහැ. කලාවට ආපු මුල් කාලේ ඉඳලම සමාජ සේවා වැඩකරනවා. මට හිතෙනවා මම දිනන තැනට වැඩකරන්න ශක්‌තියක්‌ තියෙනවා කියලා. ඒ හින්දා ඡන්දේ ඉල්ලුවොත් දිනයි කියලා හිතනවා.

ජනප්‍රිය වෙන්නද මේ වගේ දේවල් කරන්නේ ?

එවැනි උන්මාදයක්‌ මගේ දේශපාලන ගමනේ නැහැ. මොකද කලාකාරිණියක්‌ හැටියට මගේ මුළු ජීවිත කාලයම ජනප්‍රිය වෙලා ඉවරයි.

ඇත්තද සිංහලේ කියලා ටැටූ එකක්‌ ගහන්න යනවා කියන්නේ ?

අයියෝ නැහැ. මම ජීවිතේටවත් ටැටූ ගහලා නැහැ. ඒ නමටවත් මම කැමැති නැහැ.

ඔබ එහි සාමාජිකාවක්‌ නෙමෙයිද?

වාහනවල ගහගෙන යන ස්‌ටිකර් එක ගැන විතරයි මම දන්නේ. ඒ ඇරෙන්න ඒ අය කවුද කියලවත් මම දන්නේ නැහැ.

මේ වෙනස ගැන සැමියාගෙන් විරෝධයක්‌

එල්ලවෙන්නේ නැතිද?

මගේ පවුලේ වගේම සැමියාගේ පවුල තුළත් බිම් මට්‌ටමින් දේශපාලනය කරපු පරම්පරාවක්‌. ඒ නිසා පවුල් දෙකේම සහයෝගය වගේම සැමියා නිතරම මට කියන්නේ කරන්නං වාලේ නැතිව හරි දෙයක්‌ වෙනුවෙන් පෙනී ඉන්න කියලා.

පුද්ගලිකත්වයට මේ දේවල්වලින් බලපෑමක්‌ නැතිද?

දේශපාලනයට සම්බන්ධ හැම කටයුත්තකදීම මගේ සැමියා මට ලොකු ආරක්‍ෂාවක්‌ වගේම සහයෝගයක්‌ ලබාදෙනවා. එකම දේ මට එයා ළඟ රැඳෙන්න තියෙන කාලක තරමක්‌ සීමා වෙලා.

නිළියෝ තමන්ගේ සැමියන්ව යටත් කරගෙන ඉන්නවා කියන්නේ ඇත්තද?

මගේ මහත්තයාව නම් එහෙම යටත්කරගෙන ඉන්න බැහැ. එයා කියන දේ තමයි මම අදටත් කරන්නේ. මම එයාව යටත්කරගන්න ගියානම් අද පවුලත් නැහැ.

(දිවයින පුවත්පත ඇසුරෙනි)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget