
හොල්මන්වලට බයේ නිදිවරාගෙන වාහනය පදවලා වුණ වැඩක්...
ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන රොහානි වීරසිංහ රූගත කිරීමකට ගිහිං එන අතරතුර දී මාලඹේ පිට්‌ටුගලදී අනතුරකට මුහුණපෑවා. ඒ ගැන දැනගන්න අපි ඇයට කතාකළා.
රොහානි රෑ තිස්‌සේ කොහෙද මේ යන්නේ ?
කොහේවත් ගියේ නැහැ. මේ දවස්‌වල ස්‌වාධීන රූපවාහිනියේ විකාශනය වන සිහින විමන් කියන ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට තමයි සහභාගි වුණේ. රූගත කිරීම් අවසන්වෙලා රාත්‍රි එකට විතර ගෙදර එන අතරතුර තමයි මේ අනතුර සිදු වුණේ.
ඒ වෙලාවේ වාහනයේ කවුරුත් හිටියේ නැතිද?
කවුරුත් හිටියේ නැහැ. මම තනියම තමයි ආවේ.
ඇත්තටම මොකක්‌ද සිදු වුණේ ?
රූගත කිරීම් අවසන් වෙලා මගේ මිතුරියක් වන විනෝජාගේ ගෙදරත් ගිහිං තමයි අපේ ගෙදර යන්න ගියේ. මට ඒ වෙලාවේ නිදිමත ඒවි කියලා හිතුවේ නැහැ. මම ඊට පෙර දිනත් රූගත කිරීම්වලට ගිහිං නිදිවරලා හිටියේ.
එතකොට බත්තරමුල්ලේදී වාහනය නතර කරගෙන හිටියා කියන්නේ ඇත්තද?
ඔව්. මට පොඩි නිදිමතක් ඇවිත් මම බත්තරමුල්ල හරියේ වාහනය නතර කරගෙන හිටියා. ඒ වෙලාවේ මට ලොකු නිදිමතක් තිබුණා. රාත්‍රි එකට විතර හින්දා ඒ වෙලාවේ පාරේ කවුරුත් නැහැ. අනික මම තනියම වාහනයේ ඉන්නේ. ඒ හින්දා මට පුංචි බයක් ඇතිවුණා.
හොල්මන් නිසා බයවෙලා නිදිමත දරාගෙන වාහනය පැදෙව්වාලු නේද?
ඔව්. මට පුංචි බයක් දැනුණා. ගෙදරට තව පොඩි දුරක් හින්දා නිදිමත තියාගෙන මම ආවා.
නින්ද ගිහිං ඇහැරෙනවිට වාහනය කාණුවකට වැටිලා ?
මට ඇහැරෙන විට වාහනය තිබුණේ කාණුවක.
කාණුවේ ඉඳගෙනම වාහනය ආපහු පණගැන්නුවාලු නේද?
ඔව්. ඒ කතාව ඇත්ත. මට නින්ද ගිහිං තිබුණේ. එක පාරටම මට ඇහැරුණා. ආපහු යන්න කියන අදහසින් වාහනය පණගැන්වූවා. මම වාහනය රේස් කරනවා. හැබැයි වාහනය යන්නේ නැහැ. ඒ වෙලාවේ මගේ නළලයි, බෙල්ලයි රිදෙනවා. මම බැලුවා ඇයි මොකක්‌ද මේ වුණේ කියලා. මම නිදිමතේම අසිහියෙන් වගේ වටපිට බැලුවා.
පාරේ ගිය තරුණයෙක් උදව් කළා. එහෙමනේ ?
ඒ වෙලාවේ පාරේ ගිය තරුණයෙක් කතා කරලා කිව්වා අක්‌කේ වාහනය අනතුරකට ලක්‌වෙලා තියෙන්නේ කියලා. ඊට පස්‌සේ තමයි මම දන්නේ අනතුරක් වෙලා කියලා. වාහනය කාණුවක් ඇතුළට ගිහිං කොන්ක්‍රීට් තට්‌ටුවක් ළඟ හිරවෙලා තිබුණේ.
වාහනයටත් ලොකු හානියක් වෙලා කියන්නේ ඇත්තද?
වාහනයට ලොකු ඩැමේඡ් එකක් වෙලා තියෙනවා. මම පාරේ ගියේ වම් පැත්තෙන්. හැබැයි අනතුර වෙලා මම ඇහැරෙන කොට හිටියේ පාරේ දකුණු පැත්තේ.
බැරි වෙලාවත් පාරේ වාහනයක් ගියානම් රොහානිගේ ජීවිතේ අනතුරේ?
බැරිවෙලාවත් පාරේ වාහනයක් ගියානම් මගේ ජීවිතය ඉවරයි. වම් පැත්තේ ගිය මම දකුණු පැත්තට ගියේ කොහොමද කියලා හිතාගන්න බැහැ. අනික ඒ වෙලාවේ පාරේ වාහනයක් ගියානම් ඒ ගිය වාහනය වුණත් හිතන්නේ නැහැනේ මම පාරේ අනෙක් පැත්තට ඒවි කියලා.
රොහානිව දෙවියෝ බේරුවා?
මම ඇත්තටම දෙවියන්ට පිං දෙනවා. බැරිවෙලාවත් වාහනයක් ගියානම් මගේ ජීවිතය ඉවරයි. පෙර පිනකට මාව බේරුවා.
වාහනයෙන් එළියට එනකොට මොකක්‌ද හිතුණේ ?
ඒ වෙලාවේ මට ගෙදර මතක් වුණා. මොකද අම්මා මට හැමතිස්‌සේම කියන දෙයක් තමයි රාත්‍රියට වාහන එලවන්න එපා කියන එක.
අම්මා කියන දේ ඇහැව්වා නම් දුවට මේ දේවල් වෙන්නේ නැහැනේ ?
ඇත්තටම දැන් නම් එහෙම හිතෙනවා.
ඒ වෙලාවේ උදව් කරන්න ආපු තරුණයා රොහානි නිළියක් කියලා අඳුරගත්තාද?
වාහනයේ ඇතුළේ ඉන්න කොට මම නිළියක් කියලා ඒ තරුණයා අඳුරගත්තේ නැහැ. එළියටත් ඇවිත් ටික වේලාවක් ගියාට පසුව තමයි ඔහු මාව අඳුරගත්තේ. ඒ තරුණයා මට ලොකු උදව්වක් කළේ. ඔහු බැංකුවක නිලධාරියෙක්. ඒ වගේම ඔහු මානුෂීය හැඟීමෙන් තමයි මට උදව් කළේ. මොකද ඒ වෙලාවේ ගොඩක් නිදියන වෙලාවක.
රාත්‍රියේ තනියම වාහනයක් පදවාගෙන ගිහිං මෙහෙම අනතුරක් වුණා කියන දේ මතක් වෙනකොට මොකද හිතෙන්නේ ?
අනතුරක් වෙලා කියලා තේරුණ ගමන් මම හිතුවේ මේක දැන් කොහොමද අම්මාට හංගන්නේ කියලා. මගේ නළලේ සහ බෙල්ලේ ආබාධ හැංගුවත් වාහනයට වුණ අනතුර අම්මාට හංගන්න බැහැනේ. පස්‌සේ මම අම්මාට කතා කරලා කිව්වා.
දැන් ඉතිං ආපහු වාහන පදින්න අදහසක් නැහැ ?
වාහනය පදවනවා. හැබැයි රාත්‍රියට වාහනයේ ගමන් යන්නේ නැහැ. මොකද රාත්‍රියට වාහන පදවල මට්‌ටු වුණා.
දැන් ඉතිං රූගත කිරීම්වලට සහභාගි වෙන්න විදිහක් නැතිද?
සිහින විමන් නාට්‍යයේ රූගත කිරීම් අවසන් කරලයි මම එදා ගෙදර එන්න ආවේ. තව භාරගත්තු නාට්‍ය තුනක රූගත කිරීම් තියෙනවා. ඒවායේ රූගත කිරීම් මේ දිනවල නැහැ. කොහොමත් සතියක් විතර යනකොට මගේ දැනට තියෙන වේදනාවන් සුවවෙලා රූගත කිරීම්වලට සහභාගිවෙන්න පුළුවන් කියලා හිතනවා.
බැරි වැඩ නොකර හිටියා නම් ඉවරයිනේ ?
මම එහෙම හිතන්නේ නැහැ. මම අනික බැරි වැඩක් කරන්න ගියේ නැහැනේ. වාහනය පදින්න මට හොඳට පුළුවන්. නිදිවරපු හින්දා තමයි මේ අනතුර සිදුවුණේ.
(දිවයින පුවත්පත ඇසුරෙනි)
0 comments :
Post a Comment