බලෙන් අමාත්‍යාංශයට ඇතුළු වුණේ සිසු මරණයක් බලාපොරොත්තුවෙන්


සයිටම් අර්බුදය විසඳන ලෙස ඉල්ලමින් විශ්වවිද්‍යාල සිසුන් කණ්ඩායමක් සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වූයේ සිසුවකුගේ මරණයක් බලාපොරොත්තුවෙන් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදයේ සභාපති රවී කුමුදේෂ් මහතා පවසයි. මේ අරගලය මෙහෙය වූ පුද්ගලයන්ගේ අරමුණ එය බව
දැන ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරින් පැය දෙක තුනක් යන තෙක් අමාත්‍යාංශයට ඇතුළු වී ජෝගි නටමින් සිටි සිසුන්ට කිසිදු හිරිහැරයක් නොකළ බවත් තවමත් මේ අය අපට පහර නොදෙන්නේ කුමන හේතුවක් නිසාදැයි පවසමින් ඇතැම් සිසුන් පහර දෙන තෙක් නොඉවසිලිමත්ව සිටි බවත් ඔහු කීය.

ජාතික වෘත්තීය සමිති පෙරමුණ පැවැත් වූ මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව ඊයේ (26) ප්‍රකාශ කළේය. මේ අරගලයට මැදිහත් වෙමින් රාජ්‍ය දේපළ විනාශ කළ පුද්ගලයන්ට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි ද ඔහු පැවැසුවේය.

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අමාත්‍යවරයා ලෙස පත්වූවාට පසුව ඕනෑම පුද්ගලයකුට ඇතුළු විය හැකි පරිදි අමාත්‍යාංශයේ ගේට්ටු විවෘත කර තිබූ බවත් ඒ නිසා අරගලයට මැදිහත් වූ සිසුන්ට පහසුවෙන්ම අමාත්‍යාංශයට ඇතුළු වීමට හැකි වූ බවත් ඔහු පැවැසීය.

මෙවැනි සිදුවීම් නිසා පවතින නිදහස් වාතාවරණය සෞඛ්‍ය වෘත්තිකයන්ට පවා අහිමි වන බවත් මෙවැනි අරගලකාරි අවස්ථාවන්ට මැදිහත් වීමට පෙර ඒවාට සහභාගි වන්නේ ද යන්න විශ්වවිද්‍යාල සිසුන් ලෙස බුද්ධිමත්ව සිතා බැලිය යුතු බවත් හෙතෙම පැවැසුවේය.
(සන්ධ්‍යා කරුණාරත්න )

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment