'රනිල් ඉන්නෙ වෛරයෙන්' - එජාපෙ සුරැකීමේ ජාතික සංවිධානය.



එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ලබාදුන් තීරණය ට  දැඩි විරෝධය ප්‍රකාශ කරන බව එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානය කියයි.

එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරි මණ්ඩලය පත් කිරීම තමන් දැඩි ලෙස විරෝධය ප්‍රකාශ කරන බවත් ඉදිරියේදී මෙම නිලධාරීන් සමඟ දේශපාලන කටයුතුවල නිරත නොවන බව එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානය 26 දින දඹුල්ලේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළහ.

එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති දුමින්ද බණ්ඩාරනායක මහතා මාධ්‍ය හමුව අමතමින් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය විසින් පත්කර සිටින නව නිලධාරී මණ්ඩලයට තම සංගමයේ දැඩි විරෝධය ප්‍රකාශ කරන බවත් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීමට නම් සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය ලබාදිය යුතු බවත්ය.

වර්තමානයේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයට රනිල් වික්‍රමසිංහ මහතා නුසුදුසු බවත් සජිත් ප්‍රේමදාස මහතාගෙන් තම සංවිධානය ඉල්ලන්නේ නායකත්වය බාරන්නා ලෙස බවත් හෙතෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානයේ ප්‍රධාන ලේකම් එස් .ආර් .වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුව පවත්වමින් කියා සිටියේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සාමාජිකයන්ට මෙම පක්ෂය විනාශ කිරීමට උදව් ලබා නොදෙන ලෙස ඉල්ලීම් කරන බවය.අගමැතිවරයා එක්සත් ජාතික පාක්ෂිකයන් සමග වෛරයෙන් සිටින බවත් එසේ වෛර කිරීමට හේතුව වී ඇත්තේ ඔහුට ජනාධිපතිකම නොලැබීම බවත් ඒ මහතා කියා සිටියේය.

තවද 2020 ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයෙකු නොව එක්සත් ජාතික පක්ෂයේ දැවැන්තයෙකු  ජනාධිපති කරවීමේ උත්සාහයක් පවතින බවද හෙතෙම සඳහන් කෙළේය. එමෙන්ම වර්තමානයේ පත්වූ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ලේකම් ධූරයට ද නුසුදුසු බව ද හෙතෙම සඳහන් කළේය. රනිල් වික්‍රමසිංහ මහතා එතුමාගේ කීකරු ගෝලයන් තුරුළුකරගෙන තනතුරු ලබාදීම සිදුකළ ඇති බවට ද හෙතෙම චෝදනා කළේය.

ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් කතා කළ සමන් පතිරණ මහතා කියා  සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණ සත්‍යක් ග්‍රහයක් කිරීමට පෙර රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්විය යුතු බවයි.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment