ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවට පිවිස අදට වසර 27යි



ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවට පිවිස අදට 27 වසරක් සම්පූර්ණ වනවා.අදින් 27 වසරකට පෙර මේ අපූරු දේශපාලන නායකයා ශ්‍රී ලංකා මාතාව වෙනුවෙන් අභීතම තීරණය ගනු ලබනු ඇතැයි එදා කිසිවෙකුත් සිතන්නට නැතුව ඇති.27 වසරක මෛත්‍රී පියසටහන පිළිබද තබන කෙටි සටහනයි මේ,

මෛත්‍රීපාල සිරිසේන උපන්නේ පොළොන්නරුව නම් සුන්දර කලාත්මක භූමියේයි.උපන් දා සිට ඔහු ඇස ගැටුණේ ගත දැවටුණේ මහා පෞරාණික රාජ්‍යයක ගාම්භීරත්වයයි.බිඳ වැටුණු ශ්‍රී විභූතිය තුළ ඔහු දුටුවේ දුප්පත්කමේ පතුලේම ජීවත් වුණු ගොවි ජීවිතයි.ගැමි ජීවිතයි.ගොවි දෑසේ කඳුළු පිසින්නට ඔහු දේශපාලනය තෝරගත්තේ යෞවනයෙකුව සිටියදීමයි.පාසල් වියේදීම පොළොන්නරුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තරුණ සංවිධානයේ ලේකම් ධුරයට මෛත්‍රී නම් තරුණයාව තෝරාගන්නේ හැදෙන ගහ දෙපෙත්තෙන් දැනුණු නිසා විය යුතුයි.කිසිදු දිනක ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට සම්බන්ධ වුණේ නැති වුව ද හැත්තෑඑකේ කැරැල්ලේදී මෛත්‍රී තරුණයාව පොලීසිය අත්අඩංගුවට ගන්නවා.අවුරුද්දකට වැඩි කාලයක් සිරබත් කන මෛත්‍රී එළියට එන්නේ හිටියට වඩා දස ගුණයකින් ශක්තිමත්ව. 1979දී පොළොන්නරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ දිස්ත්‍රික් ලේකම් තනතුරට පත්වන ඔහු සිරිමාවෝ මැතිනියගේ ආදරය මැද 1980දී පොළොන්නරුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආසන සංවිධායක ලෙස පත්වනවා. 1989 මාර්තු 9 වනදා පාර්ලිමේන්තුවට පා තබන ඔහු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනවා. 1994දී වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා බවට පත්වන ඔහු 1997දී මහවැලි සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්වීම් ලබනවා.2001 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් ධුරයට පත් වන මෛත්‍රීපාල සිරිසේන වැඩිම කාලයක් මහලේකම් ධුරයේ ක්‍රියා කළ පුද්ගලයායි.

2004 වර්ෂයේ දී පාර්ලිමේන්තුවේ සභානායක ධුරයට පත්වන මෛත්‍රීපාල සිරිසේන කෘෂිකර්ම පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත්වන්නේ 2005 වසරේයි.2006 වසරේ දී කෘෂිකර්ම, වාරිමාර්ග, මහවැලි හා පරිසර ඇමති ධුරයටත්, දෙදහස් හතේ දී කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා ඇමති ධුරයටත් පත්වනවා. තීරණාත්මක යුද ජයග්‍රහණයේ දී වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලද්දේ ද මෛත්‍රීපාල සිරිසේන මහතායි. එල්ටීටීඊ ඝාතන ඉලක්ක කිහිපයකින්ම අනූනවයෙන් ජීවිතය බේරාගත් මෛත්‍රීපාල සිරිසේන දෙදහස් දහය වසරේ දී සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත්වනවා. එතැන් සිට ඔහු සෞඛ්‍ය තුළ සිදුකළ විප්ලවය සදානුස්මරණීයයි.මෛත්‍රීපාල සිරිසේන සිය ජීවිතයේ තීරණාත්මකම තීන්දුව ගනු ලැබුවේ ශ්‍රී ලංකා මාතාව අඳුරු අගාධයකට තල්ලු වෙමින් තිබූ මොහොතකයි. රාජපක්‍ෂ රෙජිමයට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් කිසිදු දිනෙක නායකයෙකු මතු නොවනු ඇතැයි විශ්වාස කළ අවස්ථාවක එක් අතෙක මරණයත් අනෙක් අතෙහි රටේ අනාගතයත් රැගෙන ඔහු ජනාධිපති සටනට ආවේ නැත්නම් අපේ රට අද කුමන නම් අඳුරු තැනක පවතී ද යන්න කිසිවෙකුටත් විග්‍රහ කළ නොහැකියි.

Courtesy : ITN news
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment