වයස අවුරුදු 79 යි සිනමාවට ඇවිත් අවුරුදු 52 යි


කිසිම සම්මානයක්‌ ලැබිලා නෑ
කලාව සහ ජීවිතය ගැන සටන් නළු රොබින් සමඟ කතාබහක්‌...

හොඳ නරක කතා කරන්න ගිහිං මිනිස්‌සු තරහ කරගන්න ඕනෑ නැහැ
දැන් මේ ක්‍ෂේත්‍රය අවුල් ජාලාවක්‌

හාරලක්‍ෂයේ චණ්‌ඩියා තුළින් ඔහු කළ ස්‌වාභාවික සටන් දුටු ප්‍රේක්‍ෂකයෝ කතා නායකයාට ගසන අත්පුඩි ඔහුටද ගැසූහ. සටන් නළුවන්ට අත්පුඩි ගැසූ ප්‍රේක්‍ෂකයන් හැදුණේ ඔහු නිසාවෙනි. කොහොම නමුත් මීට වසර පනහකට ඉහතදී රිදී තිරයේ පෞර්ෂයක්‌ ගොඩනඟාගත් ප්‍රවීණ නළු රොබින් ප්‍රනාන්දු සටන් කලාවට පිවිසුණේ අහම්බයකින් නම් නොවේ. සටන් කලාව ඔහුගේ පරපුර හා බැඳී බහතෝරන කාලේ ඔහු හා සෙවණැල්ල මෙන් සිටියේය. ඒ කාලේ ඔරිජිනල් චණ්‌ඩියන්ගේ ළඟම ඇසුරට පත්වූ ඔහු පෙම්වතුන්ගේ ද සිත්ගත් චරිතයක්‌ විය.

අපේක්‍ෂා, දැවෙන පිපාසය, ආශා, හදවත් නැත්තෝ චිත්‍රපටවල රොබින් පෙම්වතාට ඉටුකළ සාධාරණය නිසාවෙන් ඔහු පෙම්වතුන් අතරත් ජනප්‍රිය විය. අද අප ඔහු හමුවෙන්නේ වෙනදා කතාබහෙන් නම් නොවේ. සිනමා ජීවිතයට වසර 52 කි. එළැඹෙන ජුනි 15 වැනිදාට සැබෑ ජීවිතයට අවුරුදු අසූවකි. මේ කතාබහ ඒ නිසාවෙනි.

රොබින් සිනමාවට පිවිසෙන්නේ චණ්‌ඩියා චිත්‍රපටයෙන්. ඒ අතීත මතකය යළිත් අවදි කළොත් ?

මම පාසල් යන කාලේ පටන් සිනමාව ගැන ලොකු උනන්දුවක්‌ තිබුණා. මම පාසැල් ගියේ සෙන්. බෙනඩික්‌ විදුහලට. පාසලේදී මම ජිම්නාස්‌ටික්‌ ක්‍රීඩාවට දක්‍ෂයි. ඉතිං ඒ දක්‍ෂතාවයන් දැකලා පියතුමා "හිඟන කොල්ලා" කියන චිත්‍රපටයේ චරිතයක්‌ ලබාදෙන්න කටයුතු කළා. එතැනදී මට කරන්න තිබුණේ සටන් ජවනිකාවක්‌. ඇත්තටම සිනමාවට එන්න කියලා මගේ හිතේ ලොකු බලාපොරොත්තුවක්‌ තිබුණෙ නැහැ.

එතකොට චණ්‌ඩියා චිත්‍රපටයට ආරාධනා ලැබුණේ කොහොමද?

ඒ දවස්‌වල ආරියරත්න කහවිට මහත්මයා පදිංචිවෙලා හිටියේ මම හිටපු ගෙවල් දෙක තුනකට එහාපැත්තේ. ඔහු මගෙන් ඇහුවා චණ්‌ඩියා චිත්‍රපටයේ සටන් ජවනිකාවක්‌ තියෙනවා කරන්න කැමැතිද කියලා. මම කොහොමත් කලහකාරී චරිතයක්‌ නෙමෙයි. මම සටන් කලාව හැදෑරුවේ පොතපතින්.

පසුකාලෙකදී ඔබට පෙම්වතාගේ චරිත එහෙම ලැබෙනවා?

මම ඒ කාලේ පුද්ගලික ආයතනයක රැකියාවක්‌ කළා. ඒ අතරතුර මම චිත්‍රපට හයහතකට රංගනයෙන් දායක වුණා. හැබැයි සටන් දර්ශන විතරයි. ඊට පසුව රස්‌සාව දිගටම කරගන්න බැරිවුණා. අන්තිමේ රස්‌සාවෙන් අස්‌වෙලා සිනමාවට පූර්ණ කාලීනව සම්බන්ධ වුණා. ඒ කාලයේදී තමයි, මට පෙම්වතාගේ චරිතය එහෙම ලැබුණේ.

ඊට පසුව සිනමාවේ රැඳෙන්න ඕනෑ කියලා තීරණය කළා. එහෙමද?

අවුරුදු දහයක්‌ රස්‌සාව කරලා ඉවත්වෙන්න වුණාට පස්‌සේ මට තීරණය කරන්න සිද්ධ වුණා බත් කන්න රස්‌සාවක්‌ හොයාගන්න ඕනෑ කියලා. එතකොට මගේ සිනමාවේ මුල් අවධිය. පසුව මම තීරණය කළා සිනමාවේ රැඳෙන්න.

සිංහල සිනමාවේ ඔබ දුටු ලස්‌සනම නිළිය කවුද?

විශේෂයෙන් කියලා කෙනෙක්‌ කියන්න බැහැ. ඒ කාලේ හැමෝම වගේ ලස්‌සනයි.

එතකොට කඩවසම් නළුවා විදිහට හිතන්නේ කවුද?

මම හිතන්නේ ටෝනි රණසිංහ.

ඇත්තටම චිත්‍රපට කීයක රඟපාලා තියෙනවාද?

චිත්‍රපට සියයක විතර රඟපාලා තියෙනවා. ඒ විතරක්‌ නෙමෙයි සටන් අධ්‍යක්‍ෂණය පවා කළා.

හැබැයි ඔබව ඒ තරම් ඇගයීමට ලක්‌වුණේ නැහැ නේද?

ඔව්. මම රංගනයෙන් දායක වෙන්නේ ක්‍රියාදාම දර්ශනවලට. ඒ වගේම ඒවා අධ්‍යක්‍ෂණය පවා සිදු කළා. මාව ඇගයීමට ලක්‌කරන්න කවුරු හරි ඒ පිළිබඳව දැනගෙන ඉන්න එපායෑ. ඒ වගේම ඒ ගැන ප්‍රශ්න කරලා සාකච්ඡා කරන්නත් දැනගෙන ඉන්න එපායෑ. ඒවා ගැන සොයාබලන්න කවුරුවත් නැති හින්දා අපිවත් ඔය කියන විදිහේ සම්මාන නොලබන ගණයට වැටුණා. මම හැත්තෑව දශකයේ මුල් භාගයේ ප්‍රධාන චරිත හතර පහකට පවා දායක වුණා.

සම්මාන උළෙලවලදී ඔබ ඇගයීමට ලක්‌ නොවීම ගැන දුකක්‌ තියෙනවාද?

ඇත්තටම ඒ ගැන ලොකු දුකක්‌ තියෙනවා. මොකද මම සිනමාවට ඇවිත් අවුරුදු පනස්‌දෙකක්‌ වෙනවා. මේ ජුනි මාසේ 15 වැනිදාට මට අවුරුදු අසූවක්‌ වෙනවා. හොඳ පාසලකට ගිහිං ඉගෙනගෙන යමක්‌ දැනගෙන තමයි මෙතැනට ආවේ. ඇගයීමට ලක්‌වීම ගැන ඒ කාලේ මම ඒ තරම් හිතුවේ නැහැ. හොඳ චිත්‍රපටයකට දායක වීමේ පිපාසය තමයි, ඒ කාලේ තිබුණ ලොකුම සිහිනය.

වර්තමානයේ සිනමාවට තිබෙන තැන ගැන මොකද හිතන්නේ ?

ඇත්තටම ලොකු දුකක්‌ හිතෙනවා.

ඇයි ඒ ?

කිසිම දැනුමක්‌ නැතිව චිත්‍රපට ආරම්භ කරපු පිරිසක්‌ ඉන්නවා. හැටේ හැත්තෑවේ දශකයේ ජනප්‍රිය වුණේ ක්‍රියාදාම චිත්‍රපට. පසුකාලීනව විවිධ අය විවිධ චිත්‍රපට කළා. මේවාගේ හොඳ නරක තෝරන්න දාලා හිටපු පිරිසටත් එතරම් ලොකු දැනුමක්‌ තිබුණේ නැහැ. ඔවුන්ට අධ්‍යක්‍ෂණය, රඟපෑම, නිෂ්පාදනය කියන කාරණා පිළිබඳව ලොකු අවබෝධයක්‌ නැහැ. ඔවුන් තමයි මේවායේ හොඳ නරක තේරුවේ. ඒ නිසා තමයි, සිනමාවට මේ වගේ තත්ත්වයක්‌ උදාවුණේ.

අද බිහිවෙන නිර්මාණවල සිටින රංගන ශිල්පීන් ගැන මොකද හිතන්නේ ?

හොඳ දෙතුන් දෙනෙක්‌ ඉන්නවා. දෙයක්‌ තේරුම් අරගෙන රඟපාන පිරිස බොහොම අඩුයි. ඔය ගැන අපේ මත ප්‍රචාරය කරන්න ගියා කියලා අපිට හොඳක්‌ වෙන්නේ නැහැනේ. ඊට පස්‌සේ වෙන්නේ අපිත් එක්‌ක නිකං අමනාප වෙන එක විතරයි. අනික ප්‍රේමවන්තයා, ප්‍රේමවන්තිය, දුෂ්ටයා කියන චරිත වටා තමයි අද බොහෝ විට සිනමාව බිහිවෙලා තියෙන්නේ.

අද වන විට ඔබට නිර්මාණවලට ආරාධනා ලැබෙන්නේ නැතිද?

ඇත්තවශයෙන්ම මම දැන් සිනමාවෙන් ඈත්වෙලයි ඉන්නේ.

ක්‍ෂේත්‍රය ගැන කලකිරිලාද ඉන්නේ?

කලකිරීම් නැතුවම නෙමෙයි. එදා ප්‍රතිපත්ති කියලා දෙයක්‌ තිබුණා. අද ඒ කිසිවක්‌ නැහැ. කියන්න කනගාටුයි, දැන් නළුවෝ රඟපාන්නේ දවසේ පඩියට. දවසේ පඩියට සිනමාවේ රඟපාන්නේ මොකටද කියලත් හිතුණ වාර අනන්තයි.

ඔබේ හැකියාවන් සඟවාගෙන සිටීම අපරාධයක්‌ නේද?

එහෙම වුණා කියලා මොනවා කරන්නද?. අද කාලේ ඕනෑම කෙනෙකුට චිත්‍රපට කරන්න පුළුවන්. අන්තිමට පත්තරවල දානවා අහවල් සිනමා නිර්මාණයට ලක්‍ෂ හාරසියයක්‌, පන්සියයක්‌ විදයම් වුණා කියලා. ඔය වියදම් කළ මුදල් කාටද දුන්නේ. මොනවාටද ඒ මුදල් වියදම් කළේ.

එදා ඔබ රඟපෑ සිනමා නිර්මාණ අද නරඹනවාද?

ඔව්. මම නරඹනවා.

මොකද හිතෙන්නේ ?

එදා නළුවෙක්‌, ගායකයෙක්‌, අධ්‍යක්‍ෂවරයෙක්‌ට හොඳ ප්‍රබලත්වයක්‌ තිබුණා. ඒ කාලේ තිබුණ තැන අද නැතිවෙලා.

ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබෙනවාද?

මම ටෙලිනාට්‍ය හත අටක විතර රඟපාලා තියෙනවා. ඒකත් මම රඟපෑවේ ජීවත්වෙන්න මාර්ගයක්‌ තියෙන්න ඕනෑ හින්දා. මොකද අපි කොහේ ගියත් පිළිගන්නේ නළුවෙක්‌ විදිහට. අනික ජීවත්වෙන්නත් යමක්‌ කරන්න එපායෑ. දැන් ටෙලිනාට්‍යවලට කතා කරන්නේ දවසේ පඩියට.

අද කාලේ අධ්‍යක්‍ෂවරු, නිෂ්පාදකවරු ඔබේ හැකියාවන් හඳුනාගෙන නැහැ කියලා හිතෙනවාද?

ඔවුන් අපේ හැකියාවන් හඳුනාගත්තා කියලා කරන්න දෙයක්‌ නැහැනේ. දැන් මේ ක්‍ෂේත්‍රය අවුල් ජාලාවක්‌. දැන් ඉන්න නිළියන්ටත් මොනවා හරි ප්‍රශ්න. අනික දැන් නිළියෝ එහෙම වැඩකරන්නේ අධ්‍යක්‍ෂවරු, නිෂ්පාදකවරුන්ට ඕනෑ විදිහට නෙමෙයි. නිර්මාණයකට අපි පරක්‌කුවෙලා ගියොත් තමයි ඔක්‌කොම ප්‍රශ්න. හැබැයි මම කවරදාකවත් ප්‍රමාදවෙලා දර්ශනතලයට ගිහිං නැහැ. සමහර වෙලාවට නළු නළියෝ එනකම් අපිට පුටුවකට වෙලා වාඩිවෙලා ඉන්නවුණ වාර අනන්තයි, අප්‍රමාණයි. අද ජ්‍යෙෂ්ඨත්වයට නිසි තැනක්‌ නැහැ.

ඔබ මේ ආපු ගමන ගැන මොකද හිතෙන්නේ ?

මේ යන විදිහට සිනමාවේ දියුණුවක්‌ ඇතිවේවිද කියන එකත් ලොකු ප්‍රශ්නයක්‌.

පසුගිය කාලයේ කලාකරුවෝ කලාව ගොඩනැඟීම උදෙසා දේශපාලන වේදිකාවට පවා ගොඩවුණා. ඇත්තටම කලාකරුවන් දේශපාලනය කරලා කලාව ගොඩනැඟුවා කියලා හිතනවාද?

කලාවට කිසිම දෙයක්‌ සිදු වුණේ නැහැ. හොද්ද උයාගන්න රම්පා, කරපිංචා දානවානේ. ඊට පස්‌සේ ඒක කනකොට අර ඔක්‌කොම පැත්තකට දානවා. කලාකරුවෝ දේශපාලනය කරන්න ගිහිං සිද්ධ වුණෙත් ඒකයි. අද කාලේ නවක, ප්‍රවීණ නළු නිළියෝ කීදෙනෙක්‌නම් දේශපාලන වේදිකාවට ගොඩවැදුණාද. ඒ වුණාට කලාවට වුණ සෙතක්‌ නැහැනේ.

දේශපාලනය කරපු කලාකරුවෝ කළේ තමන්ගේ මඩිය තරකරගැනීමද?

ඒක විතරක්‌ කරගත්තා නම් කමක්‌ නැහැ. සිනමාව ගොඩනඟන්න කියලා එතැනට ගිහිං සිනමාවත් විනාශ කරපු එක තමයි දුක. මම කිසිම දේශපාලන පක්‍ෂයකට සහයෝගය ලබාදෙන්න ගියේ නැහැ. ඡන්දය දාන්න ඕනෑ පුද්ගලයාට ඡන්දය දාලා පැත්තකට වෙලා කටවහගෙන ඉන්නවා. ඒ වගේම දේශපාලනඥයන්ගේ වේදිකාවලට ගොඩවුණෙත් නැහැ. ඔවුන්ගෙන් උදව් ඉල්ලුවෙත් නැහැ. පොදුවේ ලැබෙන දෙයක්‌ විතරයි මම දේශපාලනඥයන්ගෙන් ලබාගත්තේ. මගේ ජීවිත කාලයටම මට ලැබුණේ සහන ක්‍රමය යටතේ ලබාදුන් මෝටර් රථය විතරයි. ඒකත් මම ලබාගත්තේ ගෙවන්න. ඊට අමතරව මගේ සැත්කමට ජනාධිපති අරමුදලෙන් මුදල් ලැබුණා. ඒවා පොදුවේ හැමෝමට වුණ දේවල්. දේශපාලනඥයන් කලාවට මීට වඩා යමක්‌ සිදුකළ යුතුයි. හොඳ නරක කියන්න ගිහිල්ලා මට මිනිස්‌සු තරහ කරගන්න වුවමනා නැහැ. 


(දිවයින පුවත්පත ඇසුරෙනි)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment