'ජීප් රිය පැදවූයේ ඇමති පාඨලී නොවේ' - වර්ණසිංහ


මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ අමාත්‍යාංශයට අයත් රථයක් මෝටර් සයිකලයක ගැටීමෙන් අනතුරක් සිදු වූ අවස්ථාවේ එම ජීප් රිය පැදවූයේ ඇමැතිවරයා බවට එල්ලවන චෝදනාවන්හි කිසිම සත්‍යතාවයක් නොමැති බව බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසුවේ බත්තරමුල්ල පන්නිපිටිය පාරේ පිහිටි ජාතික හෙළ උරුම මූලස්ථානයේ දී අද (07) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඇතැම් මාධ්‍ය හා දේශපාලනඥයින් මෙම සිද්ධිය මුල් කරගෙන දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කරන බව ද හෙතෙම පැවසී ය.

මේ රිය අනතුර සිදුවූයේ කෙසේ ද? එම අවස්ථාවේ රිය ධාවනය කළේ කවු ද?, පැමිණිල්ල වෙනස් කළා ද?, අනතුර සිදුවූයේ පොලීසියට භාර වූ රියැදුරු අතින් නොවේ ද ආදී වශයෙන් මේ වනවිට ඇති වී තිබෙන ගැටලුවලට පිළිතුරු පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් කරන පරීක්ෂණවලින් හෙළිවනු ඇතැයි ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේ ය.

මේ සිදුවීමේ දී රණවක ඇමතිවරයා අතින් නීතිවිරෝධි කරුණු 04ක් සිද්ධ වී ඇති බවත් ඒ අනුව නොසැලකිලිමත් රිය පැදවීම, අනතුරක දී පලා යාම, තමන් වෙනුවට තවත් පුද්ගලයකු පොලීසියට ඉදිරිපත් කිරීම, අධිකාරි බලයකින් තොර ව ආණ්ඩුවේ වාහනයක් ධාවනය කිරීම යන කාරණා නීතිය කඩ කිරීමක් බවත් පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල මහතා ඉකුත් 06 වැනි දා පැවැති මාධ්‍ය හමුවක දී පැවසී ය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment