ලේක්හවුස්හි අර්බුදයක්: කොටස් විකුණන්නැයි ඉල්ලීමක් 

ලේක්හවුස්හි අර්බුදයක්: කොටස් විකුණන්නැයි ඉල්ලීමක් 

දශක හතරක පමණ කාලයක් පුරා ලේක් හවුස් ආයතනයේ අයිතිය පුළුල් කිරීම සම්බන්ධයෙන් පැවති සංවාදයට අනුව එහි අයිතිය පුළුල් කරමින් සැබෑ මහජන ජනමාධ්‍ය ආයතනයක් බවට පත් කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති  තෙන්නකෝන් මහතා සඳහන් කළේ වර්තමානයේදී ලේක් හවුස් ආයතනය පත්ව ඇති අර්බුදකාරී තත්වයට විසඳුමක් ලෙස එහි අයිතිය පුළුල් කිරීම සිදු කළ යුතු බවයි.  

දශක හතරක් තිස්සේ බලයට පත්වූ විවිධ රජයන් විසින් ලේක් හවුස් ආයතනය සිය දේශපාලන හොරණෑවක් බවට පත්කරගෙන කටයුතු කළා මිස 1973 එම ආයතනය රජයට පවරා ගැනීමේ අරමුණ අමතක කර දමමින් කටයුතු කර ඇති බව ඒ මහතා පෙන්වා දෙයි. 

මේ නිසා ලේක්හවුස් ආයතනයේ කොටස් විවෘත වෙළඳපළේ අලෙවි කරමින් එහි අයිතිය පුළුල් කර අපක්ෂපාතී සැබෑ මහජන මාධ්‍ය ආයතනයක් බවට පත් කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයා ගෙන් ඊයේ (31) ලිඛිතව ඉල්ලා සිටියේය. 

එම ලිපිය පහතින්,

2016 ඔක්තෝබර් මස 31 වැනිදා

ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,

ගරු ජනාධිපතිතුමා,

ජනාධිපති ලේකම් කාර්යාලය,

කොළඹ 1.

ගරු ජනාධිපතිතුමනි,

 

ලේක් හවුස් ආයතනයේ අයිතිය පුළුල් කිරීම සම්බන්ධයෙන්

පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම.

එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම හෙවත් ‘ලේක් හවුස් ආයතනය‘ මේ වන විට අර්බුද ගණනාවකට මුහුණ දී සිටී. දැනට බහුතර අයිතිය මහා භාරකාර දෙපාර්තමේන්තුව සතුව ඇති මෙම ආයතනය 1973 අංක 28 දරණ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (විශේෂ විධිවිධාන) පනත මගින් ස්ථාපනය වී ඇත. ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා එදා පනත අවස්ථාවේ පාර්ලිමේන්තුවේ කථා කරමින් පැවසූවේ ‘ලේක් හවුස්‘ ආයතනය රජය යටතේ පවත්වා ගැනීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවයි. එක් පවුලක් යටතේ තිබූ ආයතනයක අයිතිය අද වන විට ‘රජයේ දේපලක් ‘බවට පත්ව විනාශ මුඛයට යමින් තිබේ. එදා පනතේ මුඛ්‍ය අරමුණ වූ ‘අයිතිය පුළුල් කිරීම‘ එදා - මෙදා තවම සිදුව නැත.

අද පවත්නා තත්වය අනුව ලේක් හවුස් ආයතනයෙන් රජයට ප්‍රචාරක වාසියක් නොලැබේ. අනෙක් අතට යහපාලන සංකල්පය මත ඉදිරි මැතිවරණයක දී මෙරට කුමන හෝ පක්ෂයකට එමගින් නොමිලේ පෝස්ටර්, ප්‍රතිපත්ති ප්‍රකාශන මුද්‍රණය කිරීමේ අවස්ථාව හිමි විය යුතු නැත. දිනමිණ, සිළුමිණ, ඩේලි නිවුස්, සන්ඩේ ඔබ්සවර් හා තිනකරන්  පුවත්පත් ගුණාත්මක හා අලෙවිය අතින් පහත වැටී ඇත. අනෙක් අතට විශේෂිත පාඨක සමාජයකට ආමන්ත්‍රණය කල මිහිර, සරසවිය, තරුණි, ක්‍රීඩා වැනි පුවත්පත් හි ඉරණම ඛේදනීය තත්වයට පත්ව ඇත. මෙම ආයතනය සතු ඓතිහාසික වටිනාකම, මිලකළ නොහැකි පුස්තකාලය සහ අනෙකුත් සම්පත් අප අනාගතය වෙනුවෙන් ආරක්ෂා කළ යුතුව ඇත.

ලේක් හවුස් ආයතනයේ අයිතිය පුළුල් කිරීමේ ඓතිහාසික කාර්ය භාරය ඔබතුමන්ට හා අගමැතිවරයාට එක්ව සිදු කළ හැකි බව අපගේ විශ්වාසය යි. 

ලේක් හවුස් ආයතනයේ අයිතිය පුළුල් කරමින් පනතේ විධිවිධාන ප්‍රකාරව සහ සිදත් ශ්‍රී නන්දලෝචන කමිටුවේ නිර්දේශ අනුව විවෘත කොටස් වෙළෙදපොළේ ලේක් හවුස් ආයතනයේ කොටස් අලෙවි කිරීම තුලින් ලේක් හවුස් ආයතනයේ අයිතිය පුළුල් කිරීමේ ඓතිහාසික කාර්ය භාරය ඉටු කිරීම සදහා ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලමු. 

මෙයට විශ්වාසී, 

රජිත් කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය 

 

පිටපත් -  ගරු රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා

ගරු ගයන්ත කරුණාතිලක, ජනමාධ්‍ය අමාත්‍යතුමා

ගරු කරු පරණවිතාන, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමා

මහා භාරකාරතුමා

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment