මිනුවන්ගොඩ වෙහිකල් ලංකා හොර එකලස් මධ්‍යස්ථානය වැටලේ

රේගු බදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට වාහන කොටස් ආනයනය කර වාහන සකස් කර අළෙවි කරන මහා පරිමාණ ආයතනයක් මිනුවන්ගොඩ ප්‍රදේශයේදී වැටලූ වලාන දූෂණ මර්දන ඒකකය සහ රේගුව එහි තිබී නීති විරෝධී සුපිරි වාහන 54ක්ද එහි කළමනාකාරවරයාද අත්අඩංගුවට ගෙන තිබේ.
මෝටර් කාර් 29, ජීප් රථ 22, වෑන් 2ක් සහ සම්පූර්ණ නොකරන ලද වෑන් රථයක් සහ තවත් වාහන කොටස් රැසක් ඒ අතර තිබී ඇත.
මේ නීති විරෝධී වාහන ආනයනය නිසා රජයට සිදු වී ඇති පාඩුව රුපියල් කෝටි තිස් දෙක ඉක්මවන බවට රේගුව සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාට ලැබුණු තොරතුරකට අනුව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් සහ සෘජු අධීක්ෂණය යටතේ පානදුර වලාන දුෂණ මර්දන ඒකකය මඟින් ඒ සම්බන්ධව පරීක්ෂණයක් සිදු කර තිබිණි.

එම විමර්ශනයට අනුව වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මිනුවන්ගොඩ කර්මාන්ත පුරයේ පිහිටා ඇති මෙම වාහන ආනයනික ව්‍යාපාරික ආයතනය වෙත ගොස් නිරීක්ෂණ රාජකාරී සිදු කර තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ වාහන කොටස් එකතු කර සම්පූර්ණ කර විකිණීමට තබා තිබූ වාහනද එන්ජින් සවි නොකරන ලද වාහන සහ විකිණීමෙන් පසු නැවත බාරදෙන ලද වාහන එම ආයතනයේ ඇති බවය.

මේ සම්බන්ධයෙන් රේගුව මගින් ලබාගත් තොරතුරු මත මේ ‍ස්ථානය මඟින් රේගු විමර්ශණ කටයුතු අවසන් කිරීමට පෙර හා ශ්‍රී ලංකා රේගුව විසින් අදාළ මෝටර් රථ අමතර කොටස් නිදහස් කිරීමට පෙර එම වාහන සමාගම විසින් මෝටර් රථ අමතර කොටස් එකලස් කර පූර්ණ මෝටර් රථ ලෙස දේශීය වෙළෙඳ පොළට විකිණීම මඟින් ‍රේගු ආඥා පනත බරපතළ ලෙස උල්ලංඝණය කර තිබේ.

මේ තොරතුරු අනාවරණය කර ගැනීමෙන් අනතුරුව වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය මඟින් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත රේගුවේ මධ්‍යම විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඒකාබද්ධ වී පෙරේදා එම ආයතනය වටලා සෝදිසි කර තිබිණි.

මහජනතාව විසින් මිනුවන්ගොඩ වෙහිකල් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් නමැති ආයතනය මඟින් වාහන මිලදී ගෙන එම වංචනික ක්‍රියාවට හසු වී ඇත්නම් ඒ සම්බන්ධව පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ පහත දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස හෝ පැමිණ පැමිණිලි ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙයි.

038-2234314, 038-2234315

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment