ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව කොන්ත්‍රාත්තුවක් දීමට කැබිනට් අනුමැතිය 

ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව කොන්ත්‍රාත්තුවක් දීමට කැබිනට් අනුමැතිය 

කළුතර දිස්ත්‍රික්කයේ, රයිගම ප්‍රදේශයේ කර්මාන්ත හා තාක්ෂණ සංවර්ධන අධිකලාපයක් පිහිටුවීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ. 

මෙම ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමේ අරමුණින්, එම අධිකලාපයෙහි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කොන්ත්‍රාත්තුව, සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව, රජය සතු සමාගමක් වන, මධ්‍යම ඉංජිනේරු සේවා (පෞද්ගලික) සමාගම (CECL) වෙත පිරිනැමීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

නාගරික ප්‍රදේශවලට පමණක් සීමා වූ කාර්මික සංවර්ධනය ප්‍රාදේශීය මට්ටමට ව්‍යාප්ත කිරීමත්, ප්‍රාදේශීය සම්පත්වලින් අගය එකතු කළ නිෂ්පාදනයන් සිදු කරනු ලබන කර්මාන්ත ඇති කිරීමත්, ඉහළ වැටුප් සහිත රැකියා ග්‍රාමීය ප්‍රදේශවල සුලභ කිරීමත් අරමුණු කරගනිමින් කර්මාන්තපුර පිහිටුවීම රජයේ සංකල්පය වේ. මේ යටතේ නැ‍ඟෙනහිර ආසියානු රටවල ස්ථාපිත සංවර්ධන කලාපයන්හි පවතින යටිතල පහසුකම් හා සේවාවන්ට සමාන යටිතල පහසුකම් හා සේවාවලින් යුත් කර්මාන්ත හා තාක්ෂණ සංවර්ධන කලාප 11ක් දිවයිනපුරා පිහිටුවීමට සැලසුම් කර ඇති අතර, ඒ අතුරින් හම්බන්තොට, රයිගම, මහඔය සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශයන්හි අධි කලාප 04ක් පිහිටුවීම සඳහා 2016 අයවැය ප්‍රතිපාදන තුළින් රුපියල් මිලියන 500ක් වෙන් කරනු ලැබ ඇත. 

ඒ අනුව, පාරිභෝගික හා නව තාක්ෂණ නිෂ්පාදන සඳහා වෙන් වූ තාක්ෂණ සංවර්ධන අධිකලාපයක් කළුතර දිස්ත්‍රික්කයේ රයිගම ප්‍රදේශයේ පිහිටුවීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ යෝජනාවට 2016-10-18 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබිණි.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment