අව්ව වැඩියි - සන්ග්ලාස් දාන්න කපු ඇඳුම් අඳින්න - වෛද්‍ය අනිල්

දිවයිනට බලපා ඇති අධික උණුසුමින් ළදරුවන් සහ වයෝවෘද්ධයන් විශේෂයෙන් රැක ගත යුතු බව ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.

උණුසුම් කාලගුණය හේතුවෙන් විසබීජ සංසරණය ඉහළ යෑම නිසා ශීඝ්‍රයෙන් පැතිර යන වයිරස් උණ තත්ත්වයක් පවතින බවත් එම රෝගය වැලඳෙන වසර 80ට වැඩි වයෝවෘද්ධ පුද්ගලයන් උණ සන්නිපාත තත්ත්වයට පත්වීමේ ප්‍රවණතාව ඉහළ බැවින් මරණය පවා සිදුවිය හැකි බවද ජාසිංහ මහතා පැවැසීය.

ළදරුවන් සහ වයෝවෘද්ධයන් මේ දැඩි උණුසුමින් වහා විජලන තත්ත්වයට පත්වන බවත් වයිරස් උණ මෙන්ම සමේ දිලීර රෝග තත්ත්වයට ඉක්මනින් ගොදුරු වන බවත් පැවැසූ ජාසිංහ මහතා ඉන් ආරක්‍ෂා වීම සඳහා පිරිසුදු ජලය නිතර පානය කිරීමත් පිරිසුදු ඇඳුම් මෙන්ම විශේෂයෙන් යට ඇඳුම් දිනපතා මාරු කළ යුතු බවත් වයිරස් උණ රෝගී තත්ත්වයෙන් ආරක්‍ෂා වීමට සෙනඟ ගැවසෙන තැන්වලින් හැකිතාක් අෑත්ව සිටීම හා එසේ ගැවසෙන්නේ නම් මුඛ වාඩම් පැලඳීම සුදුසු බවද කීවේය.

අධික අව් රශ්මිය නිසා දහදිය දැමීමෙන් ආරක්‍ෂාවීමට පහසු සැහැල්ලු කපු ඇඳුම් ඇඳීම මෙන්ම අව් රශ්මියෙන් ආවරණය වීමට අව්කණ්ණාඩි පැලඳීමද සුදුසු බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා  පැවැසීය.

උණුසුම් කාලවලදී රූපලාවණ්‍ය ගැල්වීම හා ඒවා අධික දහදිය සමඟ මුසුවීමෙන් හමේ බිබිළිහට ගැනීමද තරුණ කාන්තාවන් මේ කාලවලදී මුහුණ දෙන සෞඛ්‍ය ගැටලුවක් බව පෙන්වා දෙන රෝහල් අධ්‍යක්‍ෂවරයා උණුසුම් කාලවලදී හමේ රෝගවලින් ආරක්‍ෂා වීමට දිනපතා ස්නානය කිරීම, බොඩි ලෝෂන් ගැල්වීම හා නිතර ඇඟ සේදීමද, අව් රස්නයෙන් ආරක්‍ෂවීමට කුඩයක් ඉහළීම වැනි ආරක්‍ෂක ක්‍රම අනුගමනය කිරීම සුදුසු බවද සඳහන් කෙළේය.

පණ්ඩුක සමරසේකර (mawbima)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment