ගෙයකට පැන රන්බඩු - මුදල් පැහැර ගත් හොරා රඹුටන් ලෙල්ලෙන් අල්ලයි

උඩුගම දකුණ පියතිලක මාවතේ නිවෙසකට ඇතුළු වී රුපියල් හතළිස් දෙදහසක් වටිනා රන්
අබරණ සහ මුදල් සොරකම් කරගෙන ගොස් ඇති පුද්ගලයකු කා දමා තිබූ රඹුටන් ලෙලි ඔස්සේ ඉව අල්ලා ගිය පොලිස් නිල සුනඛ ආටිස් විසින් සොරකමට සම්බන්ධ සැකකරු අල්ලා දී තිබේ.
13 වැනි දින රාත්‍රි මෙම සොරකම කිරීම සඳහා පැමිණි සැකකරු නිවෙසට ඇතුළුවීමට පෙර එහි තිබූ රඹුටන් ගසකට නැඟ රඹුටන් කඩා ගෙන බිමට බැස රඹුටන් කා ලෙලි මිදුලේ දමා ඇත. ඊට පසු නිවෙසට ඇතුළු වූ මොහු එහි තිබූ මුදල් හා රන් අබරණ සොරකම් කර ගෙන පලා ගොස් තිබේ.

මේ සොරකම පිළිබඳ නිවෙසේ
අයිතිකරුවන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව ගාල්ල පොලිස් නිල සුනඛ ඒකකයේ ආටිස් නමැති නිල සුනඛයා මෙම ස්ථානයට ගෙන ගොස් ඇත. එහිදී නිල සුනඛයා භාර කොස්තාපල් ගුණදාස (54387) මහතාගේ මෙහෙයවීම මත එහා මෙහා ගිය සුනඛයා මිදුලේ තිබූ රඹුටන් ලෙලිවලට ඉව අල්ලා තිබේ. ඊට පසු එම රඹුටන් ලෙලි ඔස්සේ ඉව අල්ලමින් ඉදිරියට ගිය ආටිස් ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයකට කඩා පැන ඇත. ඒ සමඟ ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සොරකමේ සියලු තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

උඩුගම පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

 අහංගම _ එන්. ජී. ලියනගේ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment