සමෘද්ධි ව්‍යාපාරය පසුගිය කාලයට වඩා හෙට දවසේ වඩාත් ශක්තිමත් කරනවා

SAMURDHIYA

පොදු මහජනතාවගේ ආර්ථිකය ගොඩනගන පුළුල් ජාතික බලවේගයක් බවට සමෘද්ධි ව්‍යාපාරය අද පත්ව තිබෙන අතර, එය පසුගිය කාලයට වඩා හෙට දවසේ වඩා ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන ඒම සඳහා රජයේ වගකීම් නොපිරිහෙළා ඉටුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

අද (23) පෙරවරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති සමෘද්ධි ප‍්‍රජා ශක්ති 2017 ජාතික සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා සදහන් කලෙ ආර්ථික වශයෙන් ශක්තිමත් කළයුතු සියලු ප‍්‍රජාවන් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ සඳහා වත්මන් රජය නව ජීවයක් සහ නව ජවයක් ලබාදී තිබෙන බවයි.

පොදු ජන යහපත වෙනුවෙන් සමෘද්ධි ව්‍යාපාරය ගොඩනැගීමට ද පසුගිය වසර දෙක හමාර තුළ සුවිශේෂි වැඩකොටසක් ඉටුකළ බව ප‍්‍රකාශ කළේය. අද සමෘද්ධි ව්‍යාපාරය සාර්ථකව කි‍්‍රයාත්මක වන්නේ දිවයිනේ පළාත් 07 ක් තුළ පමණක් බවද මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා සමෘද්ධි ව්‍යාපාරය සාර්ථක නොවූ උතුරු නැගෙනහිර පළාත්වල ද එය සාර්ථක කර ගැනීම වෙනුවෙන් ක්ෂේත‍්‍රයේ සියලුදෙනාගේ දැනුම, අත්දැකීම් මෙන්ම දායකත්වය අපේක්ෂා කරන බව කියා සිටියේය.

සමෘද්ධි ප‍්‍රජා ශක්ති 2017 ජාතික සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා කළ කතාව,

මේ අවස්ථාවට එක්වීමට ලැබීම පිළිබඳව මා සතුටට පත්වනවා. එක් පැත්තකින් මේ ව්‍යාපෘතිය ජාතික ආර්ථික ව්‍යාපාරයක්. තවත් පැත්තකින් ගත්විට දේශපාලන වශයෙන් බලපෑමක් කළ හැකි පුළුල් සමාජ ව්‍යාපාරයක් බවටත් පත්වී තිබෙනවා. අපේ රටේ තිහේ හතළිහේ දශකයේ සිට හැත්තෑව දශකය දක්වා බොහෝ වේලාවට ආදායම් සීමාවන් පිළිබඳව එතරම් සැලකිල්ලක් නොමැතිව අපට මතකයි හාල් පොත ක‍්‍රියාත්මක වූ කාලය. 1977 දී දේශපාලන පෙරළියෙන් පසුව ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ පළමු අයවැය යෝජනා රොනී ද මැල් මහතා ඉදිරිපත් කළ සහල් පොත අහෝසි වුණා. එදා මෙදා කාලය තුළ මේ රටේ අඩු ආදායම්ලාභී පවුල් වලට තමාගේ ශක්තියෙන් ගොඩ නැගීමට විවිධ ව්‍යාපෘතීන් රජයන් විසින් හඳුන්වා දෙනු ලැබුවා.

එහි වැදගත් අවස්ථාවක් වන්නේ ගරු රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමා ආරම්භ කළ ජනසවිය ව්‍යාපාරයයි. 1994 දී පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුව බිහිකරලා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ නායකත්වය තුළ සමෘද්ධි ව්‍යාපාරය නිර්මාණය කරමින් එදා එයට නායකත්වය දුන්නේ එස්.බී. දිසානායක ඇමතිතුමා. දැන් වසර 20 ක් 23 ක් වැනි කාලයක් තුළ මීට පෙර ක‍්‍රියාත්මක නොවූ සාමාන්‍ය ජනතාව තුළ වඩා ශක්තිමත් ආර්ථික බලවේගයක් වශයෙන් සමෘද්ධි ව්‍යාපාරය පත්ව තිබෙනවා. වරින් වර ආණ්ඩු වෙනස් වුවත් ඒ වෙනස් වූ සෑම ආණ්ඩුවක් ම ඔබ වෙනුවෙන් බොහෝ මෙහෙයන් ඉටු කර තිබෙනවා. සමෘද්ධි ව්‍යාපාරය ශක්තිමත් කරමින් මේ රටේ ආර්ථික වශයෙන් ශක්තිමක් කළ යුතු ප‍්‍රජාව ශක්තිමත් කිරීම සඳහා දිය හැකි සහය අඛණ්ඩව දෙමින් ඊට අවශ්‍ය නව ජවයක් සහ නව ජීවයක් ලබාදී තිබෙනවා.

පසුගිය වසර දෙක හමාරක අපේ රජය එස්.බී. දිසානායක ඇමතිතුමාගේ නායකත්වය යටතේ මේ අමාත්‍යාංශය අග‍්‍රාමාත්‍යතුමත් අමාත්‍ය මණ්ඩලයක් අවශ්‍ය අවස්ථාවලදී සාකච්ඡා කරමින් සමෘද්ධි ව්‍යාපාරය ශක්තිමත් කිරීමට අවශ්‍ය පසුබිම ගොඩනැගුවා. වසර විසි තුනක් වැනි කාලයක් තුළ සමෘද්ධි ව්‍යාපාරයේ ගමන් මග පිළිබඳව සතුටට පත්විය හැකියි. මෙතෙක් දුර පැමිණියා සේම ඉදිරි ගමන් මග තව දුරටත් ශක්තිමත් කර ගත යුතුයි.

අනෙක් රටවලට වගේම අපේ රටටත් වරින් වර ඇතිවන ස්වාභාවික විපත් අපි සැමට පොදු බවක් ඇතිකර තිබෙනවා. මිනිස්සු ලෝකයේ දියුණු වෙන්න පටන් ගත්තේ මුලින්ම ස්වභාව ධර්මයා සමග සටන් කරලා. මිනිසුන්ගේ ආහාර, සෞඛ්‍යය, නිවාස, අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම් සඳහා මිනිසා මුලින්ම සටන් කළේ ස්වභාව ධර්මයා සමගයි. ඒ තුළයි සංවිධානය වුණේ. ඒ තුළයි සාමූහිකත්වය ලැබුවේ.

අද මහා ගංවතුරක් ගැලු විට අපිට පේනවා මිනිසුන්ගේ එකමුතුව සංවිධානශීලී බව. සුළි සුළඟක්, නියඟයක් වැනි ස්වාභාවික උවදුරකදි අපේ සමාජය කොතෙක් දුරට ඒ සඳහා මුහුණ දීමට සාමූහිකත්වයෙන් යුතුව සංවිධානය වෙනවාද කියන කාරණාව ඔබ දන්නවා. අද දවසේ තිබෙන්නා වූ ස්වභාව ධර්මයාගේ අභියෝග අප පැහැදිලිව තේරුම්ගත යුතු වෙනවා. තවත් පැත්තකින් ආර්ථික වශයෙන් එන්නා වූ විවිධ සමාජ බලවේග තියෙනවා. අපි සමෘද්ධි ව්‍යාපාරය නියෝජනය කරන ජනතාවට ඔවුන්ගේ ඕනෑ එපාකම් තව තවත් ඉෂ්ට කරන්න ශක්තිමත් කරන්න ඔවුන්ව ධෛර්යමත් කරන්න දිය හැකි සෑම සහයෝගයක්ම අඛණ්ඩව ලබා දෙනවා. එමෙන්ම එහි තිබෙන්නාවූ අඩුපාඩු ඔබේ සාකච්ඡා, සංවාද, අදහස් සහ යෝජනා තුළ ක‍්‍රියාත්මක කිරීමයි අපේ රජයේ ප‍්‍රතිපත්තිය වන්නේ.

අපි දීර්ඝ කාලයක් යුද්ධයකට මුහුණ දුන්න රටක්. උතුරු නැගෙනහිර ප‍්‍රදේශය ලංකාවේ පළාත් 09 න් සංවර්ධනයේ ඉතාමත් අඩු බවක් පෙන්නුම් කරනවා. එහි සංවර්ධනයේ අඩු බව එක් පැත්තකින් අපේ රටේ යුද්ධය නිර්මාණය වෙන්නට මූලික හේතුවක් වන්නට ඇතැයි බොහෝ විට අපි විශ්වාස කරනවා. අද මේ සමෘද්ධි ව්‍යාපාරයේ සාර්ථකත්වය තිබෙන්නේ ලංකාවේ පළාත් 09 න් පළාත් 07 කයි. යුද්ධය පැවැති උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල අනෙක් පළාත් 07 හි සමෘද්ධි ව්‍යාපාරය පත්වී තිබෙන තත්ත්වයට තවමත් පත් වී නැහැ. ඒ නිසා අපේ රජය මූලිකත්වය දෙන්නේ මේ පළාත් 09 පළාත් 07 ක වඩා ශක්තිමත්ව තිබෙන ඔබේ සංවිධාන ශක්තිය වගේම ඒ සඳහා ඔබේ තිබෙන අත්දැකීම් සහ ප‍්‍රායෝගික දැනුම ගරු ඇමතිතුමාගේ නායකත්වය තුළ උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ජනතාවට දායාද කිරීමටයි. මේ සඳහා මග පෙන්වන්න ඔබේ දැනුම අවබෝධය සහ අත්දැකීම් පරිත්‍යාග කරන්න ඒ ප‍්‍රදේශවල ජනතාව සමග එක්වන්නටයි කියා මා ඔබෙන් ඉල්ලා සිටිනවා.

රටේ සංවර්ධනයේදී පළාත් 09 ක පරිපාලනය, දේශපාලන විවිධ ව්‍යවස්ථාපිත තත්ත්වයන් තුළ සකස් වී තිබුණත් අපි ලෝකයේ ඉතාමත් ප‍්‍රබුද්ධ රටක් විදියට ගෞරවණීය රටක් විදියට සමස්ත සමාජය එක සමාන තත්ත්වයෙන් ගොඩනැගෙන්න සැමවිටම කැපවිය යුතු වෙනවා. දීර්ඝ කාලයක යුද්ධයත් සමග සංවර්ධනයේ බොහෝ පසුබෑම් තිබූ ඔබ නියෝජනය කරන අනිකුත් පළාත් වල පත් වී ඇති ඉලක්ක සහගත තත්ත්වයන්ට සමෘද්ධි ව්‍යාපාරය පත්වී නොමැති උතුරු නැගෙනහිර ප‍්‍රදේශවලට වර්තමාන රජය යටතේ පසුගිය දිනවල සාකච්ඡා කරලා අවශ්‍ය නිලධාරීන් බඳවා ගන්න, කාර්යය මණ්ඩල බඳවා ගන්න මේ ව්‍යාපෘති ඒ ප‍්‍රදේශවල සාර්ථකව ඉටු කරන්න අපි මේ වනවිට අවශ්‍ය මූලික පසුබිම සකස් කරලා තිබෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා රටක් වශයෙන් අපි යන ගමනේදී මේ රටේ සමස්ත සමාජය තුළ දකින බොහෝ දේවල් අභියෝග වශයෙන් ජයගන්නට ශක්තියක් තිබෙන පුළුල් ජාතික ව්‍යාපාරයක් බවට සමෘද්ධි ව්‍යාාපාරය පත් කරන්න.

සමෘද්ධි ප‍්‍රජා ශක්ති නියෝජිත සමුළුව අනාගතය සඳහා ඉතාමත් සුබවාදී භාග්‍යවන්ත වූ අවස්ථාවක් විදියටයි මම දකින්නේ. මෙහිදී මේ ආයතනවලට තිබෙන ප‍්‍රශ්න හඳුනාගෙන ඒවාට නිවැරදි විසඳුම් ඔබ තුළින්ම ලබාගෙන ඊට අවශ්‍ය සම්පත් ලබාදීලා සමෘද්ධි ව්‍යාපාරය තව තවත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වෙනවා. අද දවසේ ඔබ විසින් මේ කරන කැපවීම් ඉතාම විශිෂ්ට මෙහෙවරක් ලෙසයි මම දකින්නේ.

එස්.බී දිසානායක ඇමතිතුමත්, නියෝජ්‍ය ඇමතිතුමත්, රංජන් රාමනායක මැතිතුමත් අමාත්‍යාංශයේ ලේකම්තුමිය ඇතුළු සමෘද්ධි ව්‍යාපාරයට නායකත්වය දෙන ප‍්‍රධානීන් ඔබ සමග එක්වී ඔබේ වගකීම ඔබ වෙනුවෙන් නිසිලෙස ඉටු කරාවි. මෙහිදී වැඩි වැඩ කොටසක් තිබෙන්නේ ඔබටයි. ගරු ඇමතිතුමා සඳහන් කළා වගේ ඔබේ අදහස්, සාකච්ඡා සහ යෝජනා තුළ මේ ගමන වඩාත් නිවැරදිව ශක්තිමත්ව පුළුල් ජාතික ආර්ථික බලවේගයක් ලෙස ගොඩනගන්න පුළුවන්කම තිබෙනවා.

අපේ රටේ දේශීය ආර්ථිකය පිළිබඳව කතා කරන විට ඔබ තුළින් ක‍්‍රියාත්මක වන විවිධ සංවර්ධන ව්‍යාපෘති, නිෂ්පාදන ව්‍යාපෘති, නිර්මාණශිලී ලෙස කරන විවිධ ව්‍යාපෘති ඔබේ පවුලේ අවශ්‍යතාවයට, ගමේ අවශ්‍යතාවයට, නගරේ අවශ්‍යතාවයට වගේම රටේ අවශ්‍යතාවයට මෙන්ම වෙළෙඳපොළ හඳුනාගැනීම තුළින් වෙළෙඳපොළට අවශ්‍ය දේත් වෙළෙඳපොළේ නව තරගකාරිත්වයට අවශ්‍ය දේත් ඔබ විසින් වඩාත් උසස් ප‍්‍රමිතියකින් සහ ගුණාත්මකභාවයකින් නිර්මාණය කිරීම සඳහා නිෂ්පාදනය කිරීම සඳහා මගපෙන්වීම තව තවත් අවශ්‍ය වෙනු ඇතැයි කියා මා විශ්වාස කරනවා. අපිට අපේ දේශීය ආර්ථිකය පිළිබඳව කතා කරන විට දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න, විදේශ වෙළෙද පොළට අප විසින් යැවිය හැකි බොහෝ දේවල් තියෙනවා. එය ගම තුළ නිෂ්පාදනය කර ගත හැකි වෙනවා.

නව රජයේ දේශීය ආර්ථික ප‍්‍රතිපත්තිය කි‍්‍රයාත්මක කිරීමේ දී ඔබ විසින් ආරම්භ කර ඇති ඉතාමත් කුඩා ව්‍යාපෘති ඒවා ප‍්‍රදේශීය ව්‍යාපෘති බවට පත් කරන්නටත්, ඒවා ජාතික මටට්මට ගන්නටත් ඒ ජාතික මට්ටමින් විදේශ වෙළෙදපොළට ඔබේ නිෂ්පාදන යවන්නටත් අවශ්‍ය පසුබිම ප‍්‍රධාන වශයෙන් අපි ගොඩනැගීමට බලාපොරොත්තු වෙනවා. ඒනිසා අපි මේ සමෘද්ධි ව්‍යාපාර තුළ විවිධ අංශවලින් සංවිධානය වෙමින්, නිර්මාණශීලි ලෙස ඔබේ දැනුම සහ අවබෝධ ඒ අත්දැකීම් සමග මේ ඉටු කරන්නාවූ මෙහෙයන් අපි ඉතා අගය කරනවා.

අද දවසේ මේ වැදගත් අවස්ථාවට මට ආරාධනා කිරීමට පිළිබඳව ගරු ඇමතිතුමා ඇතුළු ඔබ සියලු දෙනාට ස්තූතිය පළ කරන අතර, අපේ රජයේ ඔබේ රජයේ වර්තමාන ප‍්‍රතිපත්තිය තුළ සමෘද්ධි ව්‍යාපාර තුළ ද සමෘද්ධි ව්‍යාපාරය පසුගිය කාලයට වඩා හෙට දවසේ වඩාත් ශක්තිමත් කරමින් ඔබ වෙනුවෙන් රට වෙනුවෙන් ඒ පුළුල් මෙහෙවර සැබෑ ලෙස ස්ථිර සාර ලෙස ඉටුකිරීමට රජයක් ලෙස කැප වෙන බව ප‍්‍රකාශ කරනවා.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment