දකුණු ඉන්දියාවේ ජලාශවලින් ‘විෂ පෙණ’ මතු වෙයි

දකුණු ඉන්දියාවේ ජලාශවලින් ‘විෂ පෙණ’ මතු වෙයි

මේ වසරේ අගෝස්තු මස බෙන්ගලූරු නගරයට වසර සියයකින් ඇද හැලුණු ධාරාණිපාතම වර්ෂාව ලැබුණේය. මෙයින් අනතුරුව විෂ පෙණ ගැටලුව උග්‍ර අතට හැරුණේය. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට පෙර නොවූ විරූ ලෙස විෂ පෙණ නිෂ්පාදනය වී තිබේ. වාතුර් ජලාශයේ විෂ පෙණ කැටිති, සාමාන්‍ය මට්ටමට වඩා අඩි 10 ක් පමණ ඉහළට නැග තිබේ. ඒවා දිස්වන්නේ යාබද වයිට්ෆීල්ඩ් පාර අසල ඉදිකර ඇති උස වැටක් ලෙස ය. මේ අතර බෙල්ලන්දූර් ජලාශයේ විෂ පෙණ ද යාබද මාර්ග දක්වා ගලාගෙන යාමට ද පටන් ගෙන ඇති අතර මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද එයින් බාධා ඇති වී තිබේ. 

 

මෙකී විෂ පෙණ මට්ටම ඉහළ යාම, අධික වර්ෂාපතනය සමග ඇරඹෙන ප්‍රශ්න රැසක ආරම්භය පමණි. දැඩි වර්ෂාපනය හේතුවෙන් මහා මාර්ගද ජලයෙන් යට වූ අතර, මෝටර් රථ වාහන පහත්බිම්වල සිරවීම ද සිදුවිය.  මේ අතර ගංවතුර සමග මුසු වූ විෂ පෙණ නිවාස වෙත ද ගලාවිත් ඇති අන්දම දැකගන්නට ලැබිණි. මේ වන විට බෙන්ගලරු වැසියන් ට අනතුරු අඟවා තිබෙන්නේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් නිවාස තුළටම වී සිටින ලෙස ය.

නගරයේ වාතාස්‍රය ද විෂ පෙණ හේතුවෙන් දූෂිත වී තිබේ.  බෙන්ගලරු හි විෂ පිරුණු ජලාශ, විෂ පෙණ සහ වැසි සමයේ ඇතිවන විෂ ගංගා ජාත්‍යන්තර පුවත් සිරස්තල මැවූ ප්‍රථම වතාව මෙය නොවේ. පෙබරවාරි මාසයේ බෙල්ලන්දූර් ජලාශය හදිසියේම ගිනි ගත්තේය. එයට හේතු වී තිබුණේ විෂ රසායනික සහ රසායනික කසළ ප්‍රතික්‍රියා කිරීමයි. මේ ගිනි ජාලාව පුරා පැය 12 ක් පැවති අතර, ගිනි නිවන භටයන්ට පවා එය නිවා දැමීම කෙසේ කළ යුතුදැයි අදහසක් තිබුණේ නැත. එයට හේතුව ගිනි ගැනීමේදී ද විෂ රසායනික නොකඩවා පරිසරයට නිකුත් වෙමින් තිබීමයි. 

මේ වසර මුලදී ‘ග්‍රීන් ට්‍රයිබියුනල්’ හෙවත් ‘හරිත අධිකරණය’ විසින් නගරයේ විල්වල පවතින මෙම ගැටලුව විසඳීම කර්ණාටක ප්‍රාන්තය විසින් කළ යුතු බව නියම කළේය. එය අතිශය වැදගත් තීන්දුවක් වන්නේ ප්‍රාන්ත අගනගරයේ අනාගතය මේ මත රඳා පවතින බැවිනි. මේ තත්වය යම් හෙයකින් දිගින් දිගටම පැවතුණහොත් වසර 2025 වන විට බෙන්ගලාරු නගරය අති දැවැන්ත පානීය ජල අර්බුදයකට මුහුණ දෙන බව සොයාගෙන තිබේ. මෙයින් අදහස් කරන්නේ නගරය කිසිසේත්ම ජන ජීවිත ගතකිරීම සඳහා යෝග්‍ය නොවන බව ය. ඒ අනුව නගරවැසියන් ව පදිංචි ස්ථානවලින් ඉවත් කිරීමට සිදුවනවා ඇත.

ඊශ්‍රායලයේ සහ මහා බ්‍රිතාන්‍යයේ විශේෂඥයන් ද මෙම විෂ පෙණ අර්බුදය අධ්‍යයනය කිරීම සඳහා කැඳවා තිබේ. ඔවුන්ට ලබාදිය හැකි සරල සහ එකම විසඳුම වූයේ සිදුවන හානිය අවම කිරීමට නම් වහාම, විල්වලට රසායනික අපද්‍රව්‍ය නිකුත් කිරීම නතර කළ යුතු බව ය. නමුත් එසේ කිරීම, කීම තරම් සරල නැත. අන් සියල්ලටම පෙර නිසි පරිදි පරිසර නීති බලාත්මක කිරීම අනිවාර්යයෙන් කළ යුත්තකි.

කර්ණාටක ප්‍රාන්ත මහඇමති සිද්ධරාමයියා, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය බ්‍රහස්පතින්දා සිය හඬ අවදි කළේය. ඔහු සඳහන් කළේ තත්වය විසඳීම සඳහා සිය රජය “ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව” යි. නමුත් ඒ සඳහා ඔහු ඉදිරිපත් කරන කාලරාමුව පරිසරවේදීන්ගේ කණස්සල්ලට හේතු වී තිබේ. ඔහු පවසා තිබෙන්නේ විෂ පෙණ සහ විල් දූෂණ ගැටලුව විසඳීම සඳහා වසර දෙකක් දක්වා කල් ගත වනු ඇති බවයි. කෙසේ නමුත් මේ අන්දමින් හෝ බෙන්ගලාරු නගරයේ ජලාශ දූෂණය සහ විෂ පෙණ ප්‍රශ්නය අවසානයේ සාකච්ඡාවට ලක්වීම ප්‍රශංසනීය දෙයකි. එය නිවැරදි දිශාවට තබන ලද පියවරක් ලෙස අර්ථ දැක්විය හැකි වුවත්, ඒ සඳහා දැනටමත් ප්‍රමාද වැඩි ද යන ගැටලුව බොහෝ දෙනෙකු අබියස තිබේ. 

පරිවර්තනය: අමාලි ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment