අර්ජුනගේ සොහොයුරාට ගෙවල් කුලී චෝදනා

අර්ජුනගේ සොහොයුරාට ගෙවල් කුලී චෝදනා

 

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සභාපති නිල නිවසේ සියළුම ගෘහ භාණ්ඩ ධම්මික රණතුංග විසින් ඔහුගේ සහෝදරයකුට අයත් නාවල පිහිටි නිවසකට රහසින් ම රැගෙන ගොස් තිබේ. එම නාවල නිවසේ අළුත්වැඩියා කටයුතු සඳහා සංස්ථාවෙහි ඉංජිනේරු අංශයේ සේවකයින් යොදවා ඇති අතර CPSTL සමාගමෙහි සභාපතිවරයා ලෙස ඔහුම තම සහෝදරයාට අයත් එම නිවස සඳහා මාසිකව රුපියල් ලක්ෂ ගණනක කුලියක් අය කර ගැනීමට ද පියවර ගෙන තිබේ. 

මෙසේ CPTSL සභාපති ලෙස තම සොයුරාගේ නිවසට කුලී ලබා ගන්නා අතරම ධම්මික CPC සභාපතිවරයා වශයෙන් තවත් නිවසකට කුලී ලබා ගැනීමට ද සූදානම් වන බව වාර්තා වේ. එසේම මෙම නිවාස දෙක සඳහා ලක්ෂ ගණනක බඩු භාණ්ඩ ලබා ගැනීමට ද ඔහු ආයතන දෙකෙහිම නිලධාරීන්ට බලපෑම් කරමින් සිටී. එසේම තෙල් ආනයනය කිරීමේ ක්‍රියාවලියට අනවශ්‍ය බලපෑම් එල්ල කිරීමට මොහු උත්සාහ කරන බව සේවකයෝ පවසති. එසේම ධම්මික රණතුංග සිය පුත්‍රයාගේ විවාහ මංගල්‍යය උත්සවය වෙනුවෙන් ද ඉහත ආයතන දෙකෙහිම සම්පත් භාවිතා කර ඇත. තවද ඉහත කී ආයතන දෙක සමඟ ගනුදෙනු කරන ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ලබා ගන්නා බවට ද මොහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත. 

එසේම ඛනිජ තෙල් වෘත්තීය සමිති ආණ්ඩුවට එරෙහිව උසිගන්වන බවට ද ආණ්ඩුවට එරෙහිව ක්‍රියා කරන මෙන් ඉහළ නිලධාරීන්ට උපදෙස් දෙන බවට සහ ප්‍රසිද්ධියේ ම ඒකාබද්ධ විපක්ෂයෙහි දේශපාලන න්‍යාය පත්‍රය ආයතන තුළ ක්‍රියාත්මක කරවන බවට ධම්මිකට එරෙහිව චෝදනා පවතී. 

ධම්මික රණතුංග යනු ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංගගේ සහෝදරයාය. අර්ජුන රණතුංග වරාය හා නාවික කටයුතු ඇමතිව සිටියදී ධම්මික රණතුංග ශ්‍රී ලංකා වරාය අධිකාරියෙහි සභාපතිවරයා විය. වරාය සභාපතිව සිටියදී ද රජයේ සම්පත් අවභාවිතය පිළිබඳව ධම්මිකට බොහෝ චෝදනා එල්ල වී තිබිණි. ඇමති අර්ජුනගේ දේශපාලන බලය නිසා මේවා සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන්නේද නැත. ධම්මික මෙම තනතුරු වලට පත් වූයේ කිසිදු සුදුසුකමක් ඇතුව ද නොවේ. එමෙන්ම ධම්මික රණතුංග ඇමරිකාවේද පුරවැසිභාවය හිමි පුද්ගලයෙකි. ඔහු එම ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන ඇත්තේ වරාය සභාපතිවරයාව සිටි යුගයේ දී වන අතර රාජ්‍ය ආයතන ප්‍රධානියකු වශයෙන් එය බරපතළ නීති විරෝධී ක්‍රියාවකි. 

පසුගිය ආණ්ඩුවට එරෙහිව රටේ ප්‍රබල විරෝධයක් මතු වූයේ රාජපක්ෂලා ගෙන ගිය පවුල් පාලනය නිසාවෙනි. රාජපක්ෂ පවුල් පාලනය යටතේ ද රණතුංග පවුල් පාලනය ක්‍රියාත්මක වූ අතර දැන් යහපාලන රජය යටතේද රණතුංග පවුල් පාලනය යහතින් ක්‍රියාත්මකය. අර්ජුන සහ ප්‍රසන්න රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක නියෝජනය කරන අතර ධම්මික සහ නිශාන්ත ඉඩ ලැබෙන ලැබෙන පරිද්දෙන් රජයේ මුදල් හා දේපළ යටි මඩි ගසති. දූෂණය එරෙහිව වේදිකා දෙදරවමින් කතා කරන අර්ජුනත් ප්‍රසන්නත් තම සහෝදරයින්ගේ දූෂණ ආරක්ෂා කිරීම සඳහා කැප වී සිටිති.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment