අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයෙකුට සිසුන් කළ පහරදීමකට විරෝධය

අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයෙකුට සිසුන් කළ පහරදීමකට විරෝධය

 

සම සෞඛ්‍ය විද්‍යා පීඨයට අයත් බස් රථයේ රිය සහායකවරයාට විශ්ව විද්‍යාලයේ සිසුන් කිහිපදෙනෙකු ඉකුත්දා (06) පස්වරුවේ පහර දී ඇති අතර මේ හේතවෙන් රිය සහායක ප්‍රතිකාර සදහා පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය මධ්‍යස්ථානයට ද අනතුරුව පේරාදෙණීය ශික්ෂණ රෝහලට ද ඇතුලත් කොට තිබේ.

සිය සායනික පුහුණුව නිමවූ පසු සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ සිසුන් පිරිසක්  විශ්ව විද්‍යාලයේ නේවාසිකාරය වෙත රැගෙන ඒමෙන් අනතුරුව බස් රථය යළි හරවා ධාවනය කිරීමට සූදානම්වීමේදී ඊට බාධාවන ලෙස නවතා තිබුණු යතුරු පැදියක් ඉවත් කර ගන්නා ලෙස රිය සහායක කළ දැනුම්දීමක් මෙම පහරදිමට හේතුවී ඇතැයි අනධ්‍යනය කාර්යය මණ්ඩලය සදහන් කරයි.

මෙම සිද්ධිය හේතුවෙන් අනධ්‍යයන කාර්යය මණ්ඩලයේ ආරක්ෂාව අනතුරක පවතින බව කියමින් දහසකට අධික සේවයන් පිරිසක් අද සේවයට පැමිණ රාජකාරියෙන් බැහැරවී සිටියහ. එම පිරිස විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල වන සනාථන මන්දිරය අසලට පැමිණ සිටි අතර අනතුරුව සිද්ධීය සම්බන්ධයෙන් උපකුලපති මහාචාර්යය උපුල් බී. දිසානායක මහතා සමග සාකච්ඡාවක් පැවැත්විණි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන සේවකයන්ගේ ඒකාබද්ධ කමිටුවේ සම සභාපතිවරයා ඇතුලු වෘත්තිය සමිති ක්‍රියාකාරීන්, ආරක්ෂක අංශය, මහා ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍ය නියෝජිතයන් ඇතුලු අදාල අංශ සමග පැයක පමණ කාලයක් මෙම සාකච්ඡාව පැවැත්විණි.

අනධ්‍යයන කාර්යය මණ්ඩල සේවකයාට කළ පහරදීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වා නිසි ක්‍රියාමාර්ග ගැනීමට සාකච්ඡාවේදී එකගතාව පළ වූ බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන සේවකයන්ගේ ඒකාබද්ධ කමිටුවේ සම සභාපති රුවන් කුමාර මහතා සාකච්ඡාවෙන් අනතුරුව පැවසීය. පහරදුන් සිසුන් හදුනා ගැනීම සදහා ශිෂ්‍ය සංගමයේ සහයෝගය ද එහිදී පළ වූ බවත් මෙවැන් සිදුවීම් ඉරියේදී සිදු නොවීමට සියලු දෙනාගේ සාමුහික  එකගත්වය මෙහිදී පළ වූ බව ද ඒ මහතා පැවසීය.

පරිපාලනය සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව, අනධ්‍යනය කාර්යය මණ්ඩල වෘත්තීය සමිති සංගම් නියෝජිතයන්ගේ සාකච්ඡාවකින් පසු සිය වැඩවර්ජනය නිමා කරන බව ද රුවන් කුමාර මහතා කීවේය.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නිපුණ සංකල්ප සිසුවා, මෙම පහරදීම කිසිසේත්ම අනුමත නොකරන බවත් මේ සදහා මහා ශිෂ්‍ය සංගමයේ කිසිදු සිසුවෙකුගේ සම්බන්ධයක් නොමැති බව ද කිවේය. විශ්ව විද්‍යාල පරිපාලනය පවත්වන පරීක්ෂණ සදහා මහා ශිෂ්‍ය සංගමයේ සහයෝගය හිමි වන බව කී ඔහු සිසුන් හා විශ්ව විද්‍යාල අනධ්‍යනය කාර්යය මණ්ඩල සාමුහිකව ක්‍රියාකරනු මිස දෙපාර්ශවය අතර ගැටම් ඇති නොවිය යුතු යැයි වැඩිදුරටත් කීවේය.

දිනය පුරා පැවැති වැඩවර්ජනය හේතුවෙන් විශ්ව විද්‍යාලයේ සියලුම අධ්‍යනය කටයුතු අඩාලවී තිබුණු නමුත් ගොවිපොල සතුන්ට ආහාර ලබාදීම, සායනික කටයුතු හා අත්‍යවශ්‍ය විභාග රාජකාරි ඇතුලු මානුෂීය කටයුතු සදහා අනධ්‍යයන කාර්යය මණ්ඩල මෙහිදී සහභාගීකරවීම සිදුවිය.

නදීක දයා බණ්ඩාර - මහනුවර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment