පුංචි ඡන්දෙදි දූෂිතයින්ට නාම යෝජනා එපා ! - නිරෝෂන් පෙරේරා

පුංචි ඡන්දෙදි දූෂිතයින්ට නාම යෝජනා එපා ! - නිරෝෂන් පෙරේරා



පක්‍ෂ පාට භේදයකින් තොරව දුෂණයට සහ වංචාවට එරෙහිව ප්‍රබල සමාජ මතයක් මේ වන විට ගොඩ නැගී ඇති හෙයින් එවැනි මොහොතක ග්‍රාමීය පාලන ව්‍යුහය වඩාත් සුපිරිසිදු සහ සංවිධානාත්මක ස්ථාවරයකට ඔසවා තැබීම ජාතික දේශපාලනයේ වගකීම වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. විදේශීය කාන්තාවන් අතවරයට ලක් කර ඝාතනය කරන ප්‍රාදේශීය සභා සභාපතිවරු, තමන් ඇසුරු කල කාන්තාවන් ගණන සමරණ ප්‍රදේශීය සභා සභාපතිවරු, මස් පිණිස සතුන් දඩයම් කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, නීති විරෝධී වැලි, පස් සහ බොරළු ජාවාරම් වල නිරත වන මන්ත්‍රීවරු, මත්ද්‍රව්‍ය, සුදුව සහ ගණිකා ජාවාරම සිදුකරන මන්ත්‍රීවරු පසුගිය කාලවකවානුව තුල මෙන් අද වන විටත් සිටින බව රහසක් නොවන බවත් සුපිරිසිදු දේශපාලන පෞර්ෂයන් තෝරා පත්කර ගැනීම පිළිබඳව ජනතාව සහ දේශපාලන පක්ෂ සතු වගකීම පැහැර හැරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

එසේම දේශපාලන පක්ෂ පළාත් පාලන ආයතන සඳහා සිය නියෝජිතයන් තෝරා පත්කර ගැනීමේදී ප්‍රධාන වශයෙන් සලකා බලනු ලබන කාරණය වන්නේ ඔහුට හෝ ඇයට ලබාගත හැකි ඡන්ද ප්‍රමාණය මිස දුෂණය සහ වංචාව පිටු දැකීමට ඇති ප්‍රතිපත්තිය නොවන බවත් තවත් ලෙසකින් කිවහොත් දේශපාලන පක්‍ෂ බොහෝ විට අපේක්ෂකයන් ඉදිරිපත් කරනු ලබන්නේ ‘‘අපේ හොරා අපිට හොඳයි’’ යන ප්‍රතිපත්තිය පදනම් කර ගනිමින් බවත් නිරෝෂන් පෙරේරා අමාත්‍යවරයා පැවසීය. සාමන්‍යයෙන් දේශපාලන පක්‍ෂයක් විසින් විනය පරීක්ෂණ පවත්වනු ලබන්නේ පක්‍ෂ සම්මේලනයට සහභාගී නොවීම, පක්‍ෂයේ මතයට එරෙහි ප්‍රකාශ නිකුත් කිරීම වැනි කරුණු පදනම් කර ගනිමින් මිස දුෂණ වංචා පදනම් කරගත් විනය පරීක්ෂණ පැවත්වීම මෙරට දේශපාලනය තුල දක්නට නොලැබීම කණගාටුවට කරුණක් බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පෙන්වා දුන්නේය.

බිම් මට්ටමේ දුෂිත ජනතා නියෝජිතයන් බිහිවෙද්දී පසුව එය පළාත් සභාවටත්, පාර්ලිමේන්තුවටත් පැමිණීමෙන් ජාතික දේශපාලනය දුෂණය වීම සිදුවන බව කී අමාත්‍යවරයා හොරු අල්ලා දඬුවම් කල යුතු යැයි කියන මතයට මෙරට දේශපාලන පක්ෂ රැසක් වර්තමානය වනවිට එකඟ වී තිබෙන බවත් සුජාත දේශපාලන නායකයන් බිහි කිරීමේදී හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත් නොවන අතර බිම් මට්ටමේ සිට දුෂිතයන් දේශපාලනය නොඑන යාන්ත්‍රණයක් සැකසීමේ අවශ්‍යතාවය ඉස්මතුව ඇති බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඒ අනුව, ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී දුෂිත අපේක්ෂකයන් තෝරා නොගන්නා ලෙස කුමන හෝ දේශපාලන පක්ෂයකට සිය නාම යෝජනා මණ්ඩල දැනුවත් කළ හැකිනම් එය උතුම් දේශපාලන ප්‍රවේශයක් ලෙස හදුන්වා දිය හැකි බවත් එපමණකින් නොනැවතී වංචනිකයෙකුට හෝ දුෂිතයකුට නාම යෝජනා මණ්ඩලයේ අසුන් ගැනීමට හෝ අවස්ථාවක් නොදීය යුතු බවත් එමෙන්ම ජනතාව ඉදිරියේ දුෂිතයන් ප්‍රතික්‍ෂේප කරන බවට දේශපලන පක්ෂ විසින් විවෘත පොරොන්දුවක් ලබා දිය යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment