විභාග දෙපාර්තමේන්තුවේ සත්‍ය තත්වය වහා හෙළිදරව් කළ යුතුය!

විභාග දෙපාර්තමේන්තුවේ සත්‍ය තත්වය වහා හෙළිදරව් කළ යුතුය!
සාමාන්‍ය පෙළ විද්‍යාව ප‍්‍රශ්න පත‍්‍රය පිටවීමේ සිට ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 2017 වසරට අදාළ විභාගයේ ප‍්‍රශ්න බාහිර පුද්ගලයෙකුගේ පොතක සටහන්වීම දක්වා විවිධ ගැටලූ විභාග තුළ මතු වී තිබුණි. එවැනි අවස්ථාවල තාවකාලික පිළියම් යෙදීම විනා එම ගැටලූ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග නොගැනුණි. 
 
අධ්‍යාපන අමාත්‍යවරයා විසින් විභාග දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබඳ පරීක්ෂා කිරීමට කමිටුවක් පත් කළ බව ප‍්‍රකාශ කළ අතර, මේ වන විට හිටපු විභාග කොමසාරිස් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා අධ්‍යාපන අමාත්‍යාංශයට ස්ථාන මාරුකර ඇති අතර, රහස්‍ය අංශයේ විභාග කොමසාරිස්වරයෙකුගේ ද වැඩතහනම් කර ඇත. මෙම ස්ථාන මාරුව හා වැඩතහනම මඟින් පමණක් විභාග දෙපාර්තමේන්තුවේ ගැටලූවට විසඳුම් නොලැබෙන බැවින් අමාත්‍යවරයා පත්කළ කමිටුවේ නිගමන හා නිර්දේශ ඇතුළත් වාර්තාව රටට හෙළි කළ යුතු අතර, ඊට වගකිව යුතු අය සම්බන්ධයෙන් විධිමත් විනයානුකූල ක්‍රියාමාර්ග ගත යුතුය.
 
සාමාන්‍ය පෙළ, උසස් පෙළ, ශිෂ්‍යත්ව විභාග පමණක් නොව විවිධ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල බඳවා ගැනීම් හා උසස්වීම්වලට අදාළ තරග විභාග සියල්ල විභාග දෙපාර්තමේන්තු මගින් සිදු කෙරේ. එම නිසාම විභාග දෙපාර්තමේන්තුව සමස්ත ජන ජීවිතයටම බලපාන ආයතනයකි. පසුගිය කාලයේ විභාග දෙපාර්තමේන්තුවේ සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට රජයේ වියදමින් විභාග සම්බන්ධ පශ්චාත් උපාධි සහ වෙනත් පාඨමාලා සඳහා විදේශ පුහුණුව ලබා තිබියදී ඔවුන් අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙනත් තනතුරුවලට පත් කොට තිබුණි. විභාග සම්බන්ධයෙන් ගැටලූ මතුවන අවස්ථාවලදී ජනමාධ්‍යයට හා පාර්ලිමේන්තුවට විවිධ ප‍්‍රකාශ සිදු කළා විනා විධිමත් පියවරක් නොගැනුණි. විභාග දෙපාර්තමේන්තුවේ මතු වී ඇති තත්වයන්ට වගකිව යුතු පුද්ගලයන් සම්බන්ධයෙන් අවශ්‍ය විනය පියවර ගෙන විභාග දෙපාර්තමේන්තුවේ විශ්වාසනීයත්වය හා විභාග කි‍්‍රයාවලි ශක්තිමත් කිරීමට කටයුතු කරන ලෙස ලංකා ගුරු සංගමය ඉල්ලා සිටී.   
 
ලංකා ගුරු සංගමය
 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment