මෙවර සිසුන් 30513කට විශ්ව විද්‍යාල වරම්.


එළැඹෙන නව අධ්‍යයන වර්ෂය වෙනුවෙන් විශ්වවිද්‍යාලවලට සිසුන් 30513 දෙනකු බඳවා ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සුදානම් වෙයි.

විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාළ අයදුම් පත්‍රය ඇතුළත් ශිෂ්‍ය අත්පොත ලබන සතිය මැද වන විට නිකුත් කිරීමට ද කොමිසන් සභාව සැලසුම් කර ඇත.

ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවෙන් හා අනුමත පොත්හල්වලින් ශිෂ්‍ය අත්පොත ලබා ගැනීමට හැකියාව පවති.

විභාග දෙපාර්තමේන්තුව විසින් පසුගිය දා නිකුත් කරන ලද 2017 උසස් පෙළ විභාග ප්‍රතිඵල මත මෙම බඳවා ගැනීම් සිදු කෙරෙන අතර එම ප්‍රතිඵල අනුව මෙවර සිසුන් 163104 දෙනකු විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා තිබේ.

සබරගමුව හා වයඹ විශ්වවිද්‍යාලවල මෙවර නව වෛද්‍ය පීඨ දෙකක් ආරම්භ කෙරෙන අතර ඊට සිසුන් 75 දෙනකු බැගින් සිසුන් 150 ක් බඳවා ගැනීමට නියමිතය. මීට අමතරව රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා වෙනත් වසරවල බඳවා ගැනෙන සිසුන් සංඛ්‍යාවට වඩා දහදෙනකු වැඩිපුර බඳවා ගැනීමට ද නියමිත. මෙවර වෛද්‍ය පීඨ සඳහා ගිය වසරට වඩා සිසුන් 160 දෙනකු බඳවා ගැනෙන අතර ඒ අනුව වෛද්‍ය පීඨ බඳවා ගැනීමට නියමිත සිසුන් සංඛ්‍යාව 1476 ක් වේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ මුල්‍ය හා ඉංජිනේරු පාඨමාලාවක් අලුතින් ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා ද සිසුන් 50 ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබේ.

ශිෂ්‍ය අත්පොත නිකුත් කිරීමෙන් පසු මසක් ඇතුළත online ක්‍රමය ඔස්සේ පමණක් අයදුම්පත් යොමු කළ යුතු බව විශ්වවිද්‍යාල කොමිසන් සභාව අවධාරණය කරයි.

ශිෂ්‍ය අත්පොතෙහි සඳහන් උපදෙස් හොඳින් කියවා අබෝධකර ගැනීමෙන් අනතුරුව අයදුම්පත සම්පුර්ණ කරන ලෙස ද කොමිසන් සභාව අයදුම්කරුවන්ට දන්වා සිටියි. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment