ස්ත්‍රී විරෝධී පක්ෂ හමුවේ එක්සත් ජාතික පක්ෂයේ වමෙන් ගමන

ස්ත්‍රී විරෝධී පක්ෂ හමුවේ එක්සත් ජාතික පක්ෂයේ වමෙන් ගමන
ඌවේ මහ ඇමැති චාමර සම්පත් දසනායක මනුෂ්‍යත්වයට කිසිසේත්ම නොගැළපෙන කසඩ වැඩක්‌ කළ බවට ආරංචි පැතිර යමින් පවතී. ඒ කසඩ වැඩය වූ කලී බදුල්ලේ ප්‍රසිද්ධ බාලිකා පාසලක දෙමළ විදුහල්පතිනියක්‌ ඔහුගේ නිල නිවසට කැඳවා දණ ගැස්‌වීමය. චාමර සම්පත් කියන්නේ තමන් එවැනි නීච ක්‍රියාවක්‌ නොකළ බවය. එහෙත් විදුහල්පතිනිය තම නිවසට කැඳවන ලද බව ඔහු පිළිගනී. චාමර සම්පත් කියන පරිදි මේ විදුහල්පතිනියට විරුද්ධව චෝදනාවක්‌ තිබේ. එනම් ඇය පාසලේදී හින්දු ආගමට හැර සෙසු ආගම්වලට මුල් තැන නොදෙන බවය. අනතුරුව තමා විසින් එම ගැටලුව විසඳන ලද බවද මහ ඇමැති චාමර සම්පත් කියයි. 
 
ගුරුවරියක දණගැස්වීමේ සිද්ධියක් ආනමඩුව පැත්තේ පාසලකින් ද වාර්තා වූ අතර එයට වරදකරු වී දඬුවම් ලැබූ පළාත් සභා මන්ත්‍රීවරයාට ද වත්මන් ශ්‍රීලනිප නායකත්වය යටතේ යළි සංවිධායක ධුරයක් ලැබිණි. කාන්තාවන් හා ගැහැණු ළමයින් 100ක් දූෂණය කර එය සැමරීම සඳහා සාදයක් පැවැත්වූ බව කියන දේශපාලකයකුගේ සහයෝගය ලබන ඔහුගේ බිරියට ද ශ්‍රීලනිපය නාමයෝජනා දී ඇති බව වාර්තා වේ.
 
ශ්‍රීලනිපය මේ අන්දමේ ස්ත්‍රී විරෝධයක් පෙන්වද්දී එහි වඩා දක්ෂිණාංශික අංශය වන පොදු ජන පෙරමුණට පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා දීමට කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බවට පවා චෝදනා එල්ල විය. 
 
මේ අතර, විශේෂයෙන් ම එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වය නිසා ස්ත්‍රීන්ට වඩා ගෞරවනීය දේශපාලන නියෝජනයක් ලැබෙන පරිදි පළාත් පාලන මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන ලදී. කුමන අඩුපාඩු තිබුණත්, අද වන විට කාන්තාවන් විශාල පිරිසක් මැතිවරණවලට තරග කරති. ඡන්දයෙන් තේරී පත් වන කාන්තා නියෝජිතයන්ට ස්වාමි පුරුෂයන්ගේ හා වෙනත් පිරිමින්ගේ අතකොලු වන්නට නො දී, ඔවුන් සැබෑ නායිකාවන් ලෙස ගොඩ දැමීමේ වගකීම සිවිල් සමාජයට තිබේ. 
 
රටේ ප්‍රධානම පළාත් පාලන ආයතනය වන කොළඹ නගර සභාවේ පුරපති ධුරය සඳහා කාන්තාවක ඉදිරිපත් කිරීමෙන් එක්සත් ජාතික පක්ෂය දෙන ලද ආදර්ශය ඉතා වටිනා එකකි. රෝසි සේනානායක වැනි නායකත්වයක් ඉදිරියට පැමිණීම දිරි ගැන්විය යුතුය. 
 
පසුගියදා සුරාබදු ආඥා පනත යටතේ මංගල සමරවීර ඇමතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ද මෙම සංදර්භය තුළ ඉතා වැදගත් ය. මත්පැන්හල් අරින වහන වෙලාවන්ටත් වඩා එහි වැදගත් වුණේ කාන්තාවන්ට මත්පැන් මිළ දී ගැනීමට හා මත්පැන්හල්වල වැඩ කිරීමට විරුද්ධව පනවා තිබූ නීති වෙනස් කිරීමයි. කාන්තාවන් මත්පැන් බීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණක් එහි නො තිබිණි. එහි තිබුණු එක ම දෙය වන්නේ 1955 සිට ක්‍රියාත්මක වූ කාන්තාවන්ට වෙනස් අන්දමින් සැලකීමේ නීතියක් වෙනස් කිරීමයි. එහි වැදගත්කම ඇත්තේ කාන්තා අයිතිවාසිකම් පැත්තෙන් ය. මත්පැන් පැත්තෙන් නො වේ. 
 
මෙම නීතිය ආපස්සට හැරවීමට දැන් ජනාධිපතිවරයා පියවර ගනිමින් සිටියි. එ් ආපස්සට හරවන්නේ මත්පැන් පිළිබඳ නීතියක් නො වේ. කාන්තාවන්ට අසමාන අන්දමින් නො සැලකීම පිණිස වෙනස් කරන ලද නීතියකි.
 
මෙහි සුවිශේෂ ම තත්වය වන්නේ විකල්පයක් වෙනුවෙන් ය කියා ඡන්දය ඉල්ලන ජනතා විමුක්ති පෙරමුණට ද මේ ගැන මතයක් නැතිකම ය. ඔවුන්ට පමණක් නො ව, ඔවුන්ගේ තරගකරුවා වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ද මතයක් නැත. 
 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment