උදයංග වීරතුංග ‘නිදහස්‘ කළ කතාවේ ඇත්ත නැත්ත සහ ඉන්ටපෝල් එ. කැටපෝල්

උදයංග වීරතුංග ‘නිදහස්‘ කළ කතාවේ ඇත්ත නැත්ත සහ ඉන්ටපෝල් එ. කැටපෝල්

ඩුබායි බලධාරීන් විසින් අද සිදුකළේ උදයංග වීරතුංගව ඇප මත මුදාහැරීම පමණකි. නිදහස් වීම සහ ඇප මත මුදාහැරීම, සම්පූර්ණයෙන්ම වෙනස් තේරුම් දෙකකි. ඉතා සරලව කියන්නේ නම් ‘නිදහස්‘ කළා නම් ඇප මත ‘මුදා හරින්නට‘ කිසිදු උවමනාවක් ඇති වන්නේ නැත. එනම්, මෙහිදී ඩුබායි බලධාරීන් විසින් උදයංග ව නිදහස් කර තිබෙන්නේ ඇප මත ය. කොන්දේසි සහිතව ය. එය උදයංග සිය පෝස්ටුවෙන් අදහස් කරන ආකාරයේ ‘මොකුත් නෑ අනේ. මාව අල්ලල අතඇරියා‘ වැනි අදහසකට එහා යන්නක් බව ඕනෑම කෙනෙකුට වැටහෙයි.

ඊයේ රාත්‍රියේ FCID ප්‍රධානී රවී විද්‍යාලංකාර, විදේශ අමාත්‍යාංශයේ නිලධාරියෙකු වන විජේරත්න, නීතිපති දෙපාර්තමේන්තුවේ MLA අංශය භාර ප්‍රධානී නීතීඥ පාරින්ද රණසිංහ යන තිදෙනා ඩුබායි බලා ගියේ උදයංග වීරතුංග ව ලංකාවට ගෙන එන්නට සිතාගෙන ය. එසේ යන විට උදයංග ව ඩුබායි හි ආගමන විගමන බලධාරීන් විසින් ඇප මත මුදා හැර තිබිණි.

ඩුබායි හිදී උදයංග කළ දෙය නම්, නීතිවිරෝධී ගමන් බලපත්‍රයක් හෙවත් පාස්පෝට් එකක් ඉදිරිපත් කරමින් ඇමරිකාව වෙත යාමට උත්සාහ කිරීම යි. මේ ගමන් බලපත්‍රය ඔහු යුක්රේනයේ තානාපතිවරයා ව සිටි කාලයේ පාවිච්චි කළ විශේෂ රාජ්‍ය තාන්ත්‍රික විනිර්මුක්තියක් සහිත තානාපති ගමන් බලපත්‍රයයි. තානාපති කම නැති වූ පසුවත් උදයංග ගමන් බලපත්‍රය ආපසු භාරදුන්නේ නැත. එය අවලංගු වී ඇති බව දැන දැනම එයින් සැලසෙන විනිර්මුක්තිය සහ අනෙකුත් ප්‍රතිලාභ දිගින් දිගටම ලබාගන්නට ඔහුට අවශ්‍ය විය. මේ සිද්ධියේදී ඩුබායි හි ආගමන විගමන බලධාරීන් උදයංගට එරෙහිව නගා තිබෙන චෝදනාව වන්නේ, එසේ නීතිවිරෝධී ගමන් බලපත්‍රයක් ආගමන විගමන බලධාරීන් වෙත ලබා දී ඔවුන් නොමග යැවීමට තැත් කිරීමයි.

අල්ලපු අත්තත් නෑ - පයගහපු අත්තත් නෑ

එසේම එහිදී ඔහුව රඳවාගෙන ප්‍රශ්න කර තිබේ. උදයංග වීරතුංග යුක්රේන පුරවැසියෙක් ද වේ. මේ අනුව උදයංග සතුව රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයට අමතරව යුක්රේන ගමන් බලපත්‍රයක් ද තිබිණි. ඩුබායි බලධාරීන් ඔහුව ඇප මත මුදා හැරීමේදී එම යුක්රේන ගමන් බලපත්‍රය ද රඳවාගෙන තිබේ. ඒ අනුව උදයංගට දැන් ඩුබායි රාජ්‍යෙයන් තමන්ගේ හිතුමතයට පිටවීමට වරම් නැත. හොර වැඩේ නොකළා නම් අඩු ගණනේ යුක්රේන ගමන් බලපත්‍රයවත් බේරා ගන්නට ඔහුට හැකි වන්නට තිබිණි. නමුත් දැන් ඔහුට අල්ලපු අත්තත් නැත. පයගහපු අත්තත් නැත. මේ මොහො‍තේ ඔහුට ඩුබායි හැර වසන්නට වෙන් තැනක් ද නැත. ඒ නිසා ඔහු තවමත් ඩුබායිවල රැඳී සිටින්නේ ඔහුට දැන් වෙන යන්නට තැනක් නැති නිසා ය.

චෝදනා නෑ, නඩු නෑ

උදයංගට විරුද්ධව තාක්ෂණිකව රතු වරෙන්තුවක් නැති බව සැබෑවකි. අඩුම ගණනේ මිග් යානා ගනුදෙනුව සම්බන්ධ සිද්ධියේදී ඔහු සැකකරුවෙක් හෝ නොවේ. මූල්‍ය අපරාධ දෙපාර්තමේන්තුව ඔහුට විරුද්ධව වරෙන්තුවක් ලබාගන්නේ ඔහු විමර්ශනයට සහාය නොදැක්වූ නිසා මිස ඊට වඩා වැඩි යමක් නිසා නොවේ. දෙවතාවක් ම කැඳවූ නමුත් නො ආ නිසා ඔහුට විරුද්ධව වරෙන්තුවක් ගෙන තිබේ.

මේ අතර ලංකාවෙන් ගිය බලධාරීන් කණ්ඩායම උදයංග ව උදර්පණය කරවා ගැනීමට හදති. එය ලෙහෙසි නැත්තේ උදයංගට මෙතැන නඩුවක් නැති නිසා ය. රතු වරෙන්තුවක් උදයංගට විරුද්ධව ගන්නට හැකියාවක් නැත්තේ නීතිමය ගැටළුවක් නිසා ය. එනම්, ජාත්‍යන්තර පොලිස් පනතේ 83 වගන්තිය ප්‍රකාරව යම් පුද්ගලයෙකුට එරෙහිව රතු වරෙන්තුවක් ලබාගත යුතු නම් සපුරාලිය යුතු කොන්දේසි ගණනාවක් ඇත. ඒ අතර අපරාධ නඩු පැවරීමකට යටත් කර තිබීම, එම තැනැත්තාට එරෙහිව චෝදනා ගොනු කර තිබීම යනාදී සපුරාලිය යුතු කොන්දේසි ගණනාවක් ඇත. මේ කිසිම කොන්දේසියක් උදයංග සිද්ධිය සම්බන්ධයෙන් ලංකාව ඉටු කර නැත.

උදයංගව උදර්පණය කරවා ගැනීම

මේ තත්වය යටතේ ලංකාවේ කණ්ඩායම උදයංගව ඉල්ලා සිටින විට උදයංගව ඩුබායි රාජ්‍යය විසින් ලංකාවට භාරදීමක් කරන්නේ නම් එය කළ හැක්කේ හුදෙක්ම රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවක් හෝ රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තක් වශයෙන් මිස ‘තවත් ඉන්ටපෝල් වැඩක්‘ වශයෙන් නොවේ. එයට හේතුව උදයංගව ඩුබායි රාජ්‍යයෙන් ලංකාාවට උදර්පණය කර ගැනීමේදී බලපත්වන්නේ උදර්පණ නීතිය හෙවත් රටකින් රටකට පුද්ගලයන් භාරදීමේදී අදාළ වන නීතිය පමණි. ජාත්‍යන්තර පොලිසියට හෙවත් ඉන්ටපෝලයට, මේ සිද්ධියට කැටපෝලයක් තරමටවත් මැදිහත් වීමක් කරන්නට හැකියාවක් නැත.

කෙසේ නමුත් උදයංගට තම මුහුණුපොතෙන් දකින සිහිනය ලෙසින්, හැබෑවටම මේ අකරතැබ්බයෙන් නිදහස් වන්නටත් ක්‍රමයක් තිබේ. මහමුද් කන්ද ළඟට නොගිය නිසා ඔන්න දැන් කන්ද, මහමුද් සොයා ඩුබායි පැමිණ තිබේ. ඒ අනුව කන්දක් බලාපොරොත්තු පොදි බැඳගෙන ඩුබායි ගිය රවී විද්‍යාලංකාර මහතාගේ කණ්ඩායමට තිබෙන්නේ පෙර කී කටඋත්තරය ඔහුගෙන් ලබාගැනීමයි. එනම්, උදයංග විසින් එම කටඋත්තරය FCID වෙත ලබාදුන් සැණෙන් ඔහුට විරුද්ධව තිබූ නීතිමය බැඳීම අහවර වේ.

ඇත්තෙන්ම උදයංගව උදර්පණ නීතිය යටතේ උදර්පණය කරවා ගත්තත්, කුදලාගෙන ලංකාවට ගෙන ආවත් උදයංග අදාළ කටඋත්තරය ලබාදුන් සැණින්, විමර්ශනවලට සහාය නොවීම නමැති ඔහුගේ චෝදනාව අවසන් වේ. එ් අනුව උදයංග ලංකාවට ආවත් මේ නාටකය අවසන් වන්නට නියමිතව තිබෙන්නේ මෙහෙමම හැර වෙන විදිහකට නොවේ.

‘ඔර්නෙලා‘ දෙවැනි කොටස

මීට පෙර ද මෙවැනිම නාට්‍යයක් රඟ දැක්වුණා ඔබට මතකද? නාමල් රාජපක්ෂගේ ගවර්ස් සමාගමේ සිදුවූ මිලියන 30 ක වංචාව මත එම සමාගමේ ලේකම්වරිය ඔර්නෙලා ඉරේෂා ද සිල්වා මෙනෙවිය රටෙන් පළා ගොස් සිටි බව මුලින් කියැවුණි. මහා මාධ්‍ය සන්දර්ශනයක් සමග ඇය අත්අඩංගුවට ගත් බව කීවත්, එය තඩි බොරුවක් බව හෙළිවූයේ ඇයම නිදුකින්, කිසිම කරදරයක් නැතිව අබුඩාබියේ සිට කටුනායක දක්වාම සාමාන්‍ය මගී ගුවන් යානාවක නැග ආ නිසා ය. කටුනායකදී ඇයව අල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙනු ලැබීය. අන්තිමට ඇය වෙනුවෙන් උසාවියට ට්‍රාන්ස්පෝර්ට් සැපයුවේ ද FCID වාහනයකින්ම ය. රටක් කැළඹූ ඔර්නෙලා, අදාළ කටඋත්තරය ලබා දී යහතින් යන්නට ගියා ය!

ඇත්තෙන්ම අද දහවල් උදයංග වීරතුංග මහතා මුහුණු පොතෙන් සිහින දුටු නිදහස යනු එයම විය යුතුය.

ඒ අනුව කිසිදු සැකයක් නැතිව පෙනී යන්නේ දැන් මේ රඟ දැක්වෙන්නේ ‘ඔර්නෙලා පාට් ටූ“ බවයි.

සැබවින්ම උදයංග වීරතුංග ගේ ‘ඩුබායි වික්‍රමය‘ තනිකරම පුස් වෙඩිල්ලකි. දුමකුත් නැත. ගඳකුත් නැත. සද්දෙ පමණි!

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment