අවසන් ප්‍රතිඵලය තවත් ප්‍රමාද වෙයි

අවසන් ප්‍රතිඵලය තවත් ප්‍රමාද වෙයි
ඊයේ රාත්‍රියේ පටන් ඒ ඒ පක්ෂවලට ආසන වෙන්කිරිමේදී ගැටලු ඇති වූ අතර මේ සම්බන්ධයෙන් මාධ්‍ය හරහා විටින් විට කතාබහට ලක්විය.
 
ඡන්ද ගණන් කිරීමේදී ඒ ඒ ඡන්ද මධ්‍යස්ථානවල ගණන් කිරීමේ කටයුතු සිදුකිරීම නිසා අදාල ඡන්ද මධ්‍යස්ථානයේ අවසන් ප්‍රතිඵලය දැනුම්දීමේදී විවිධ බාධා සිදුව තිබේ. ඇතැම් මධ්‍යස්ථාවල තැපැල් ඡන්ද අවසන් ප්‍රතිඵලයට එකතු කර ඇති අතර ඇතැම් මධ්‍යස්ථානවල එම වාර්තා වෙන් වෙන්ව භාර දී තිබේ.
 
මේ නිසා සමස්ත ප්‍රතිඵල ගණනයේදී නැවත නැවත පරීක්ෂා කිරීමට සිදුව ඇති අතර ඒ සඳහා තවත් සැලකිය යුතු වේලාවක් ගතවන බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.
 
මෙවර පළාත් පාලන මැතිවරණය නව මැතිවරණ ක්‍රමය අනුව පැවැත්වෙන අතර එහිදී කොට්ඨාශ මට්ටමින් සහ සමානුපාතික ක්‍රමයේ මිශ්‍රණයක් අනුව මහජන නියෝජිතයන් තෝරා පත්කර ගන්නා අතර ප්‍රතිඵල ප්‍රමාද වීමට මෙම ගණනය කිරීම් ද හේතු වී තිබේ.
 
මේ වනවිට නිකුත් කර ඇති ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද 4,258,403 ක් හිමිව ඇති අතර එම පක්ෂයට හිමිව ඇති මන්ත්‍රී ආසන සංඛ්‍යාව 2,933 කි. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 3,026,982 ක් ලබාගෙන තිබේ. ඔවුන් හිමි ආසන සංඛ්‍යාව 2,030 කි. මීට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 827,803 ක් ලබාගනිමින් මන්ත්‍රී ආසන 507 ක් හිමිකරගෙන සිටී. ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වූ පළාත් පාලන ආයතනවලදී ඡන්ද 441,693 ක් ලබාගෙන මන්ත්‍රී ආසන 309 ක් දිනාගෙන ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 584,407 ක් ලබාගෙන ආසන 368 ක් දිනාගෙන සිටී. 
 
මීට අමතරව දෙමළ ජාතික සන්ධානය මන්ත්‍රී ආසන 217 ක් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය මන්ත්‍රී ආසන 20 ක් දිනාගෙන තිබේ. සෙසු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් දිනාගෙන ඇති මන්ත්‍රී ආසන ප්‍රමාණය 551 කි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment