නවතින්න, හිතන්න, ඡන්දය දාන්න, ඡන්දය නොදැමීම නුසුදුසු නියෝජිතයෙකුට පාර කැපීමක්!

නවතින්න, හිතන්න, ඡන්දය දාන්න, ඡන්දය නොදැමීම නුසුදුසු නියෝජිතයෙකුට පාර කැපීමක්!

කුමාර සංගක්කාර එමගින් ඉතා පැහැදිළි ලෙස කියන්නේ යහපත් පළාත් පාලනයක් සඳහා ඡන්දය පාවිච්චි කරන ලෙස මිස කුමන පක්ෂයක් හෝ කණ්ඩායමක් ඉලක්ක කරගෙන සිදුකර ඇති මැතිවරණ ප‍්‍රචාරයක් නොවේ. එහෙත් ඔහු ඡන්දයේ ඇති වටිනාකම මෙන්ම ඡන්දය නොදීම නිසා සමාජයට වියහැකි අහිතකර ප‍්‍රතිවිපාක පිළිබඳව සිහිපත් කිරීමක් ඒ තුළ සිදුකරයි. එය යහපත් හා වගකිවයුතු පුරවැසියෙකුගේ ලක්ෂණයකි. 

හෙට පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය ශ‍්‍රී ලංකාවේ පුරවැසියන්ට අදාළව ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයේ ජීවගුණය වර්ධනය කරගැනීම උදෙසා ද අතිශයින්ම වැදගත්ය. එය පුරවැසියන්ට අදාළ වන්නේ තමන් ජීවත් වන නගරයේ හෝ ගමේ යහපත් පැවැත්ම උදෙසා තීරණාත්මක බලපෑමක් සිදුකරන පළාත්පාලන ආයතන සඳහා මහජන නියෝජනත්වයක් ලබාදීමට එමගින් අවස්ථාව ලැබෙන නිසාය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයේ රඳා පැවතිය යුතු ජීවගුණය උදෙසා එමගින් දායකත්වයක් ලබාගැනීමට නම් අප හෙට දවසේදී විචාර බුද්ධියට ඉඩ දී පටු හැඟීම් හෝ ආවේගයන්ට වහල් නොවී තම වටිනා ඡන්දය පාවිච්චි කළයුතුය. මොනම හේතුවක් නිසා හෝ ඡන්දය දීමෙන් වැළකී නොසිටිය යුතුය.

ඒ බව අවධාරණය කරන පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මේ රටේ දැනුවත් හා වගකීමකින් යුතුව කටයුතු කරන පුරවැසියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව ඔහු මෙසේ කියයි. ”ලංකාවේ මැතිවරණ වල තීරණාත්මක පිරිස ඔබ බව මතක තියාගන්න. ඔබ ඔබේ ඡන්දය භාවිතා නොකළහොත් ඔබ අකැමතිම පුද්ගලයා ඔබේ කොට්ඨාශයේ මහජන නියෝජිතයා වෙන්නට පුළුවන්. ඔබ අකැමතිම පක්ෂය හෝ කණ්ඩායම ඔබේ පළාත් පාලන ආයතනයේ බලය ලබාගැනීමට ද ඉඩ තිබෙනවා. එබැවින් ඔබ කොතරම් කලකිරීමෙන් සිටිය ද සාපේක්ෂ වශයෙන් සුදුසු පුද්ගලයන් සිටින පක්ෂය තෝරා ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කිරීමට වගබලා ගන්න.

ඒ අනුව අද මේ රටේ දැනුවත් හා වගකිව යුතු පුද්ගලයන් මේ ආකාරයට අවධාරණය කරන්නේ ඡන්ද අයිතියෙහි ඇති වැදගත්කම පිළිබඳවයි. වහල් හා ගෝත‍්‍රික සමාජයන් තුළ වැසියාට අත්කර දී පැවති පීඩනයන් හා සර්වජන ඡන්ද අයිතිය උදෙසා අප රටේ මෙන්ම ලෝකය පුරා සාදු ජනයා විසින් ගෙනගිය අරගලයන්හි බරපතළකම දන්නා ඒ පිළිබඳව වැටහීමක් ඇති කිසිවෙක් ඡන්දය නොදී සිටින්නට සිතන්නේ නැත.
ඒ අනුව අප අපේ ඡන්දය පාවිච්චි කළයුත්තේ අපට මෙන්ම රටට ද වැඩදායී වන අයුරිනි. එහිදී එම වගකීම සිහිපත් කරමින් කුමාර සංගක්කාරගෙන් ආරම්භ කළ විවෘත ඉල්ලීම කවියෙකු හා ගීත රචකයෙකු වන රවී සිරිවර්ධනගෙන් අවසන් කිරීමට කැමතිය. එහිදී රවී සිරිවර්ධන මෙසේ කියයි.

”ඔබේ තාත්තා ඡන්දය ඉල්ලූවද, මිතුරා ඡන්දය ඉල්ලූවද ඔහු ඡන්දය ඉල්ලන්නේ රටේ මහජන දේපළ සොරා කෑ නායකයෙක් සිටින පක්ෂයකින් නම්, කණ්ඩායමකින් නම්, ජනමාධ්‍යවේදීන් ඝාතනය කළ ජනමාධ්‍ය ආයතන ගිනි තැබූ, පක්ෂයක හෝ කණ්ඩායමක නියෝජිතයෙක් ලෙස නම් පවුලක ආධිපත්‍යය ඇති පක්ෂයකින් නම් ඔබේ තාත්තා හෝ මිතුරා ඡන්දය ඉල්ලා ජයගත්තද ගමට කළහැකි ඉටිගෙඩියක් නැත. මන්ද තක්කඩි නායකයෙකුට කීකරු වීම හැර ස්වාධීන පැවැත්මක් ඔවුන්ට හිමි නොවන නිසාය. එබැවින් හොරුන් පිටු දකින්න. ඝාතකයන් පිටු දකින්න. වර්ගවාදීන් පිටු දකින්න. සාපේක්ෂව, සාධාරණ විකල්පයක් තෝරාගන්න.
රටට ජයවේවා.

සුනිල් ජයසේකර

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment