පොලිස් කොමිසමේ ලේකම් ඉවතට

පොලිස් කොමිසමේ ලේකම් ඉවතට

ඔහුගේ සේවය මෙම වසරේ සැප්තැම්බර් 30 වැනිදා දක්වා බලපැවැත්වෙන නමුත් පෙබරවාරි මාසයේදී නිකුත් කළ නව චක්‍රලේඛයකට අනුව ආරියදාස කුරේ මහතාගේ සේවය අවසන් කරන බව ජාතික පොලිස් කොමිසම ඔහු වෙත ලිපියකින් දැනුම් දී තිබේ.

මේ අතර කැෆේ සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මහනුවර ආශ්‍රිතව ඇති වූ ගැටුම් සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳව පොලිස් කොමිසමේ ලේකම්වරයා පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලීම හේතුවෙන් ලේකම්වරයා ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි.

එම සංවිධානය නිකුත් කළ නිවේදනය මෙසේය.

ජාතික පොලිස් කොමිෂන් සභාව තෙල්දෙණිය ගැටුම් පිළිබඳව ස්වාධීන විමර්ශනයක් සිදු කිරීමට උත්සහ දැරීම වළක්වා ගැනීමට දේශපාලන නායකත්වයේ බලපෑම මත ලේකම්වරයා ඉවත් කිරීම සිදුව ඇත.

පොලිස් අකාර්යක්ෂමතාව හේතුවෙන් තෙල්දෙණිය හා දිගන ගැටුම් උත්සන්න වූ බව මේ වන විට විවෘත රහසකි. කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය විසින් ගැටුමට පසුදින මේ පිළිබද අදහස් දැක්වූ අතර සිද්ධියේ දී පොලිස් දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව පිළිබඳ විමර්ශනයක් පවත්වන ලෙස පොලිස් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියේය. ලක්ෂ්මන් කිරිඇල්ල, රවුෆ් හකීම්, හලීම් යන අමාත්‍යවරුන් ද, පා.ම. දිළුම් අමුණුගම හා යුධ හමුදාපතිවරයා ද පැවසුවේ පොලිස් අකාර්යක්ෂමතාව හේතුවෙන් ගැටුම් වර්ධනය වූ බවයි.

ප්‍ර‍හාරය වර්ධනය වන තෙක් පොලීසිය එයට ඉඩ දී බලා සිටි බවට පොදු මතයක් රට තුළ පවතින අතර මේ පිළිබඳ පොලිස් කොමිෂන් සභාව වෙත ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් වී තිබුණි. (කැෆේ සංවිධානයේ ඉල්ලීම මේ සමඟ අමුණා ඇත) අම්පාර හා තෙල්දෙණිය සිදුවීම් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ද පොලීසියට චෝදනා කර තිබුණි. පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ආරියදාස කුරේ මහතා මේ පිළිබඳ පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා සිටි අතර ඒ පිළිබඳ ප්‍ර‍මුඛ දේශපාලනඥයින්ගේ නොකැමැත්ත පළ වී තිබුණි. මෙම අර්බුදය හේතුවෙන් ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයෙකු හෝ කිහිප දෙනෙකු ඉල්ලා අස්වීමේ සුදානමක් පවතින බව ද, අප වෙත දැනගන්නට ඇත.

දේශපාලන අතපෙවීම් හේතුවෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව දැඩි පීඩනයකට ලක්වී ඇති අතර, මහාචාර්ය සිරි හෙට්ටිගේ මහතා සභාපති ධූරයෙන් ඉවත්වීමෙන් පසුව දේශපාලන අවශ්‍යතාව මත එහි කටයුතු සිදුවන බවට චෝදනා එල්ල විය. දිගු කලක් සැඟවී තිබූ ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත එල්ල වන දේශපාලන බලපෑම් පිළිබඳ ආරියදාස කුරේ මහතා ඉවත් කිරීමත් සමඟ සමාජ අවධානය යොමුවී ඇත. ස්වාධීන කොමිෂන් සභා සඳහා එල්ල වන බලපෑම් පිළිබඳ සමාජ කතිකාවක් ආරම්භ කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත්වෙමින් තිබේ.

කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment