තොරතුරු පනතේ නියෝග නොසලකා හැරලා

තොරතුරු පනතේ නියෝග නොසලකා හැරලා

මෙරට පුරවැසියාගේ තොරතුරු දැනගැනීමේ මූලික අයිතිවාසිකම අර්ථාන්විත කරමින් එම පනත පාර්ලිමේන්තුවේ සම්මත කෙරුණේ 2016 ජුනි මස 23 වන දිනය. පනත බලාත්මක කිරීම සඳහා එහි 41 වැනි වගන්තිය ප්‍රකාර නියෝග ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරුණේ 2017 පෙබරවාරි මස 03 වැනි දිනය.

එම පනතේ නියෝග අංක දෙක හි දක්වා ඇත්තේ පනතට අදාළ නියෝග ගැසට් පත්‍රයෙහි පළ කරන ලද දිනයේ සිට වලංගු බවය. පනතේ තුන්වැනි නියෝගය අනුව සෑම පොදු අධිකාරියක්ම සිය අධිකාරියෙහි පාලනය යටතේ පවත්නා සෑම කාර්යාලයකම RTI 01 ආකෘතිය හෙවත් තොරතුරු දැනගැනීමේ ඉල්ලුම් පත්‍රය ඇතුළත් දැන්වීමක් මහජනතාවට ප්‍රකටව පෙනෙන ස්ථානයක සිංහල, දෙමළ භාෂා මාධ්‍යයෙන් ප්‍රදර්ශනය කළ යුතුය. එම නියෝගය බොහෝ පොදු අධිකාරින් විසින් නොසලකා හැර ඇති අතර නියෝග අංක 20 හි සඳහන් ප්‍රගාමී තොරතුරු ප්‍රකාශයට පත් කිරීම යන නියෝගයෙහි ඇතුළත් උපවගන්තිද නොසලකා හැර තිබේ. තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි අප කරන ලද සමීක්ෂණයට අනුව ඇතැම් රාජ්‍ය ආයතන මහජනතාවට තොරතුරු ලබා දීමට ක්‍රියා කරන්නේ කෙසේදැයි හඳුනාගෙන නැත.

මාතර දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය ආයතන අතරින් ගැසට් නිවේදනයේ සඳහන් ආකාරයට තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කර ඇත්තේ මාතර මහනගර සභාව පමණක් වන අතර මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවා ගැසට් නිවේදනයේ සඳහන් නියෝග ක්‍රියාත්මක කර නැත. තොරතුරු දැනගැනීමේ අයිතිය ආරක්ෂා කිරීම හා අධීක්ෂණය පවත්වාගෙන යාමේ වගකීම ඇත්තේ තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට වුවත් එම අමාත්‍යාංශ පරිශ්‍රයේ පවා මහජනතාවට ප්‍රකටව පෙනෙන ස්ථානයක RTI 01 ආකෘතිය ඇතුළත් දැන්වීමක් ප්‍රදර්ශනය කර නැත.

- දයා නෙත්තසිංහ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment