
අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව පිටුපස සිටින්නේ ප්‍රධානවම රාජපක්ෂ පවුලයි. එජාපය හා ආණ්ඩුව පිළිබඳව විවිධ හේතු මත කලකිරී සිටින බොහෝ සංවිධාන හා පුද්ගලයින් තම අවශ්‍යතාව සඳහා දිනා ගැනීමට රාජපක්ෂ පවුල සමත්ව සිටී. යලි බලයට පත්වීමේ වුවමනාවටත් වඩා රාජපක්ෂ පවුල උත්සුක වී ඇත්තේ තමන්ට එරෙහිව ඇති දූෂණ හා අපරාධ චෝදනා වලින් හිරේ විලංගුවේ වැටීම වලකා ගැනීමයි. ඒ සඳහා ආණ්ඩුව වෙනස් කිරීමට අවශ්‍යයි. අගමැතිට එරෙහිව විශ්වාසභංගය ඉදිරිපත් කර ඇත්තේ අන්කිසිවක් සඳහා නොව ආණ්ඩුව වෙනස් කිරීම සඳහාය. අගමැති ගෙදර යැවීමට තරම් කෝපයක් හෝ වෛරයක් රාජපක්ෂ පවුලට අගමැති සම්බන්ධයෙන් නැත. එහෙත් ආණ්ඩුව වෙනස් කර ගැනීමටත් යලිත් වරක් බලයට ඒමටත් පහසුම මග අගමැතිට එරෙහිව මෙම විශ්වාසභංගය ජය ගැනීම බව මෙම පවුල ඉතා නිවැරදිව තේරුම් ගෙන තිබේ. විශ්වාසභංග යෝජනාව පිළිබඳව මුලදී එතරම් උනන්දුවක් නොදැක්වූ මහින්ද රාජපක්ෂ මහතා තරමක අකමැත්තෙන් වුවද විශ්වාසභංග යෝජනාව ජය ගැනීමට තීරණාත්මක ලෙස ඉදිරිපත් වූයේ දූෂණ නඩු කඩිනම් කිරීමේ අටියෙන් මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කිරීම සඳහා ආණ්ඩුවේ රනිල් පාර්ශවය විසින් අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමගය. තමන් වැනි පලිගන්නා සුළු හා බලය හා ධනය සඳහා ඕනෑම දෙයක් කිරීමට සූදානම් නායකයෙකුට වඩා රනිල් වැනි මධ්‍යස්ථ (Moderate) නායකයෙකු අගමැති ධූරයේ සිටීම මෙතෙක් රාජපක්ෂ පවුලට වාසි සහගත විය. එහෙත් එම වාසිය වෙනුවෙන් තවදුරටත් ආණ්ඩුවට පවතින්නට ඉඩ ලබා දුන්නහොත් ඉදිරියේදී තමන්ට අවාසි සහගත තත්වයක් ඇති විය හැකි බව රාජපක්ෂ පවුල දනී. මන්දගාමී ලෙස හෝ දූෂණ හා මිනීමැරුම් නඩු විසදීම ඉදිරි වසර එකහමාර තුල සිදුවීමට ඉඩ ඇත. එසේම එජාපය තුල ප්‍රතිසංවිධානයක් ඇතිවී එම පක්ෂය යලි හිස එසවීමට ඉඩ ඇත. අනෙක් පැත්තෙන් ජනාධිපතිවරයාගේ අනාගත බල ව්‍යාපෘතිය අසාර්ථක වී දැනට ඔහු සමග සිටින යම් පිරිසක් එජාපයට එක්වීමට ඉඩ ඇත. එනිසා මෙම අවාසි සහගත තත්වයේ වර්ධනයක් සිදුවීමට පෙර ආණ්ඩුව වෙනස් කළ යුතු යයි රාජපක්ෂ පවුල ඒකමතිකව තීන්දු කර ඇත. අගමැතිට එරෙහිව විශ්වාසෙභංග යෝජනාව යනු රාජපක්ෂලාගේ පැත්තෙන් බලන විට පහසු තැනට පළමුව පහරදීමේ උපායයි. එහෙත් එහි අවසන් පූර්ව අමුරුණ වී ඇත්තේ ජනාධිපතිවරයා බිත්තියට හේත්තු කිරීමයි.
එදත් අදත් රාජපක්ෂවරුන්ගේ දැඩි වෛරයට පාත්‍ර වී සිටින්නේ රනිල් නොව චන්ද්‍රිකා හා මෛත්‍රීය. එහෙත් චන්ද්‍රිකා හා මෛත්‍රී සම්බන්ධයෙන් රාජපක්ෂවරු අනුගමනය කලේ ද්විත්ව ප්‍රතිපත්තිකයකි. චන්ද්‍රිකා වැදගැම්මකට නැති චරිතයක් වශයෙන් නොසලකා හරින ලදී. මෛත්‍රී සම්බන්ධයෙන් දිගින් දිගටම අනුගමනය කලේ මිත්‍රශීලී ප්‍රතිපත්තියකි. කපටියා සිනාසෙන්නේත් රවන්නේත් තමන්ට අවශ්‍ය විටය. එහි වාසි අවාසි බලාය.
මුග්ධ හා ස්වයං විනාශකාරී බලපොරයක නිමග්න වී සිටි ආණ්ඩුවේ පාර්ශව දෙක වන රනිල් පාර්ශවය සහ මෛත්‍රී පාර්ශවය යන පාර්ශව දෙකෙන් රාජපක්ෂලා දත්මිටි කමින් මෛත්‍රී පාර්ශවයට ආධාර කිරීම සඳහා තම ඔඩොක්කුවේ සුරතලුන් දුසිමක් පමණ පූර්ණ කාලීනව ආණ්ඩුව තුලට රිංගවූහ. මෙම ඔඩොක්කු සුරතලුන් ආණ්ඩුවේ ඇමතිකම් සලදහා යැයි අගවමින් හා සියළු වරප්‍රසාද බුක්තිවිදිමින් රනිල් විරෝධී ව්‍යාපාර බාධාවකින් තොරව ඉදිරියට ගෙන ගියහ. ජනපති ධූරයෙන් සෑහීමකට පත් නොවූ ජනාධිපතිවරයාට ශ්‍රීලනිපයේ හා එජානි සං යේ සැලකිය යුතු පිරිසක් දිනා ගැනීමට අවශ්‍ය විය. එය කළහැකි දෙයක් බව ඔහුගේ රනිල් විරෝධී උපදේශකයන් ඔහුට ඒත්තු ගැන්වූ බව පෙනේ. මිරිගුව දෙසට දුවයන පිපාසිත මුව පොව්වෙකු මෙන් මෛත්‍රී මුග්ධ දිවිල්ලක් දුවන්නට පටන් ගන්නේය. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඔහුගේ එකම අරමුණු වූයේ මහින්ද පරාජය කිරීම නොව රනිල් පරාජය කර එජාප විරෝධී සැබෑ බලවේගය තමන් සමග සිටින බව පෙන්වීමටයි. එහෙත් සිදුවූයේ කුමක්ද? ඔහුගේ නායකත්වයෙන් තරඟ වැදුණු කණ්ඩායම් දෙක ලැබුණු සමස්ථ ඡන්ද සංඛ්‍යාවෙන් 50% කටත් වැඩිය ලබාගෙන ඇත්තේ ඔහු සමග සිටිමින් සෘජුව හෝ වක්‍රව මහින්දට ආවඩන උපාය දූතයන්ය. මෛත්‍රී මුලසිටම කර ඇත්තේ රාජපක්ෂලාට වාසි සහගත වැඩය. එහෙත් දැන් රනිල්ට එරෙහිව විශ්වාසභංග යෝජනාව රනිල්ට පමණක් නොව ආණ්ඩුවටද එරෙහි විශ්වාස භංග යෝජනාවක් බව තේරුම් ගෙන ඇති ජනාධිපතිවරයා මේ වන විට ‘කසාය බීපු ගොළුවෙකු'ගේ තත්වයට පත්ව සිටී. තමන් විසින් පත්කර ගත් ශිරාල් ප්‍රධාන උපදේශකයින් සහ මහින්ද විසින් උපාය දූත මෙහෙවරකට යොදන ලද මහින්ද භක්තික ඇමති නඩයක කූට මෙහෙයවීම යටතේ රූකඩයක් මෙන් අගාධයන් කරා ඇදී ගිය ජනාධිපතිවරයා අගාධයේ මුවවිට දැක දැන් සංත්‍රාසයට පත්ව ඇත. විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ අගමැතිවරයාට පමණක් නොව යෝජනාවේ සඳහන්ව ඇති පරිදි ආණ්ඩුවටද එරෙහිවය. විශ්වාසභංග යෝජනාව මහින්ද පාර්ශ්වය විසින් ජයගත හොත් අගමැති ප්‍රධාන කැබිනට් මණ්ඩලය මුළුමනින්ම වෙනස් වේ. එසේ වුවහොත් අගමැති වන්නේ ස්ථිරවම මහින්ද රාජපක්ෂය. එසේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා දැනට ඇති ව්‍යවස්ථාමය ප්‍රතිපාදන අර්ථ කථනය කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබේ. ඒ අනුව වසර හතර හමාරකට පෙර ආණ්ඩුව විසුරුවා හැරීම සඳහා ඇති බාධාව 2/3 ක පාර්ලිමේන්තු බහුතරයක් නොමැතිව සිදු කිරීමේ හැකියාවක් ජනාධිපතිට ලැබීමට ඉඩ ඇත. කෙසේ වෙතත් මේ සඳහා ඇති බාධාව වන්නේ වසර 5 සම්පූර්ණ කර නොමැති නවක මන්ත්‍රීන් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට සහාය නොදැක්වීමයි.
එම නිසා බොහෝ දුරට සිදුවීමට ඉඩ ඇත්තේ මහින්ද රාජපක්ෂ අගමැතිධූරය භාර ගැනීමට ආරාධනා කිරීමට මෛත්‍රීපාල සිරිසේනට සිදුවීමයි.
මේ වන විට මහින්ද රාජපක්ෂගේ පරමාදර්ශකයා (Role Model) බවට පත්ව සිටින්නේ රුසියාවේ ජනාධිපති පුටින්ය. මහින්ද රාජපක්ෂ සිංහාසනයෙන් පැදුරට බැස සාමාන්‍ය මන්ත්‍රීවරයෙකු වීමට තීන්දු කලේ පුටින් කරණය (Putinization) හිතේ තබාගෙනය. වාර 2 ක් අඛණ්ඩව ජනාධිපති ධූරය දැරීමෙන් පසු පුටින් නව ජනාධිපති අගමැතිකම භාරගෙන ඊළඟට ජනාධිපති බවට පත්විය. මහින්ද රාජපක්ෂගේ අරමුණ වී ඇත්තේ කෙසේ හෝ අගමැති තනතුරට පත්වී නිශ්චිත කාලයකට පසුව හෝ ඊට පෙර ජනාධිපති ලවා පාර්ලිමේන්තුව විසුරුවා හරවා නව ව්‍යවස්ථාවක් සෑදීමට වරමක් ලබා දෙන ලෙස ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටිමින් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමයි. එම නව ව්‍යවස්ථාව යටතේ එක්කෝ යලි වරක් හෝ දෙවරක් තමන්ට ජනාධිපති තරඟයට ඉදිරිපත් වීමට හැකියාව ඔහු විසින් ලබාගනු ඇත. එසේ නැතහොත් ජනාධිපති නාමික විධායකයා බවට පත්වනු ඇත. සිංහල බෞද්ධ ඡන්ද අතිබහුතරයක් හා සුළු ආගමික හා වාර්ගික ජනතාවගේ ඡන්ද යම් ප්‍රමාණයක් ලබා ගැනීම මගින් 50% ඡන්ද ලබා ගත හැකි බව පෙනී ගිය හොත් ඔහු වඩා කැමති වන්නේ යලි වරක් ජනාධිපති වීමටය.
රාජපක්ෂලාට තවත් විකල්පයක් ඇත. මහින්ද රාජපක්ෂ අගමැති වුවත් යලිවරක් ජනාධිපති වුවත් ඔහු රනිල්ගෙන් පලිගන්නේ නැත. ඊට හේතුව ඔහු ශ්‍රීලනිපය දෙකඩ කර මහින්ද ආරක්ෂා කළ නිසාය. එහෙත් ජනාධිපතිගේ ඉරණම ඉතා ශෝකජනකය. දේශපාලනයේදී සදාකාලික සතුරන් හෝ මිතුරන් නැතැයි මෑතකදී ජනාධිපතිවරයා පැවසුවත් මහින්ද අගමැති වුවහොත් පළමුව කරන්නේ නව කථානායකවරයෙකු පත්කර ගැනීමයි. ඔහුගේ ඊළඟට ප්‍රමුඛතාව වන්නේ ජනාධිපතිට එරෙහිව දෝෂිභියෝගයක් ගෙන ඒමයි. පසුගිය ජනාධිපතිවරණයේදී තමන් පරාද වූවා නම් තමන්ට සිදුවන්නේ අඩි 6 ක් පොළොව යට වැලලෙන්නට බව ජනාධිපති වරක් පවසා තිබේ. එහෙත් දෝශාභියෝගයකින් ජනාධිවරයා ඉවත් කළත් වෙනත් කුමන හෝ ක්‍රමයකින් ජනාධිපතිවරයා ඉවත් කරනු ලැබුවත් ඔහු අඩි 6 ක් පොළව යට නොව අඩි 6 ක් හෝ ඊට වැඩි අඩි ගනණක් පොලොවට උඩින් දස අතේ කරණම් ගැසීමට සිදුවනු ඇත. ඊට හේතුව රාජපක්ෂවරු මෛත්‍රීව පාපන්දුවක් ලෙස ගෙන ටික කලක් සෙල්ලම් කිරීමට ඉඩ ඇති නිසාය. ඔවුන්ගේ වෛරය එතරම්ම දරුණුය. තත්වය නරක බව පෙනේ නම් චන්ද්‍රිකා කල් වේලා ඇතිව රටෙන් පිටවීම සුදුසුය. ගෝඨාභය ප්‍රවාර්ධනය කර රාජපක්ෂ පවුල තුළ විරසකයක් ඇති කොට ඒ හරහා ගෝඨා සමග ගිවිසුමකට එළඹ ජනාධිපති තනතුර හා අගමැති තනතුර බෙදා ගැනීමට මුග්ධ මෛත්‍රී කල්පනා කරන්නේ නම් එය දවල් හීනයක් පමණි.
තමන්ට කියා ඡන්ද පදනමක් ගොඩනගා ගත නොහැකි වුවහොත් තමන් රනිල්ගේ පියන් කෙනෙකු බවට පත්විය හැකි යයි බියක් මෛත්‍රීට තිබුනි. මුලසිටම රනිල්ගේ පියන් කෙනෙකු නොවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බව මලික් ජයවීර විසින් ලියන ලද ‘මා දුටු ජනවාරි 8' කෘතිය කියවන විට පෙනී යයි. මහින්ද අගමැති තනතුරට පත්වුවහොත් මෛත්‍රීට සිදුවන්නේ මහින්දගේ පියන් කෙනෙකු බවට පත්වීමට නොව වස ටිකක් පානය කර වනගත වීමටයි. මහින්ද හිටපු අගවිනිසුරුවරියට කළා මෙන් ජනාධිපති නිවස වටකර මල් වෙඩි පත්තු වනු ඇත. සරත් ෆොන්සේකාට කළාක් මෙන් බිම දිගේ ඇදගෙන යා නොහැකි වුවහොත් (සේනාධිනායක නිසා) මැරයන් රණවිරුවන් සහ චීවරධාරීන් යොදා නිවාස අඩස්සියේ තබනු ඇත. ඉන්පසු පුවත්පත්වල දැකිය හැකි වන්නේ ප්‍රේම්ජයන්ත ඩිලාන් එස්.බී වැනි උපාය දූතයන් විසින් මහින්ද වෙනුවෙන් සිදුකළ දූත මෙහෙවරයන්හි රසමුසු තැන්ය.
බැදුම්කර වංචාවේ චූදිතයන් ආරක්ෂා කිරීමට රනිල් කටයුතු කර ඇති බව පැහැදිලිය. ඔහු එසේ කලේ කුමන හේතූන් නිසාද යන්න අවසානයේදී හෙලිවනු ඇත. එහෙත් රනිල් එම වංචාවේ ශත 5 ක් වත් තම පුද්ගලික අවශ්‍යතාවයකට නොගත් බව නම් ඉතා පැහැදිලිය. රනිල්ගේ මෙම අමනෝඥ හා උභතෝකෝටික හැසිරීම ප්‍රයෝජනයට ගෙන එය පසුගිය පාලන සමයේ සිදුවූ මිනිස් ඝාතන අතුරුදහන් කිරීම් මිග් ගණුදෙනු වැනි මහා පරිමාණ වංචා හා ඒ කාලයේ සිදුවූ බැදුම්කර වංචා ආදී සියළු අපරාධ යටපත් වන පරිදි රනිල් විරෝධී මහා ප්‍රචාරක ව්‍යාපාරයක් මෛත්‍රී විසින් දියත් කලේ ඔහු හුදෙක් දූෂණ විරෝධියෙකු වූ නිසා නොව රනිල් පිළිබඳව පෞද්ගලිකව පැවති අප්‍රසාදය හා තම බල ව්‍යාපෘතිය නිසා බව ඉතා පැහැදිලිය. ඔහු දූෂණ විරෝධියෙකු නම් දූෂිතයන්ට ඇමතිකම් ලබා දෙයිද? ඔහු විසින් කරණ ලද මෙම ක්‍රියාවට වන්දි ගෙවීමට සිදුවනු ඇත.
මෛත්‍රී ජනාධිපති වූයේ එජාප ඡන්ද හා සුළු ජාතික හා සුළු ආගමික ජනයාගේ ඡන්ද වලිනි. සුළු ජාතික හා සුළු ආගමික ඡන්ද ඔහු ලැබුවේ එජාපයත් සුළුතරයට සාධාරණය ඉටු කිරීමේ ඉතිහාසයක් ඇති චන්ද්‍රිකා පොදු අපේක්ෂකයාට සහාය දැක්වීමට තීන්දු කර තිබූ නිසාය. අප එසේ කියන්නේ ඇයි? සුළු ජාතීන්ගේ සාධාරණ දේශපාලන අභිලාශයන් වෙනුවෙන් පෙනී සිටි ඉතිහාසයක් මෛත්‍රීට නැත. රාජපක්ෂවරුන්ගේ යලි බලයට පත්වීමේ ව්‍යාපෘතියට වැඩිම සහායක් දක්වා ඇති පුද්ගලයා අන්කිසිවෙකු නොව මෛත්‍රීය. යූඑන්පී ඡන්ද වලින් බලයට පත්වූ මෛත්‍රී රනිල් පරාජය කිරීමට කටයුතු කිරීම මගින් සිදුකර ඇත්තේ මිතුරන් විසින් ලබාදුන් බොරු දත්කුට්ටමෙන් එම මිතුරන්ම සපා කෑමට සමාන දෙයකි.
පොදු අපේක්ෂකයා වශයෙන් මෛත්‍රීගේ නම චන්ද්‍රිකා විසින් යෝජනා කරන විට රනිල් චන්ද්‍රිකාගෙන් එක් ප්‍රශ්නයක් අසා තිබේ. එනම් මෛත්‍රී විශ්වාස කළ හැකි පුද්ගලයෙකු ද යන්නයි. චන්ද්‍රිකාගේ පිලිතුර වී ඇත්තේ මෛත්‍රී විශ්වාස කළ හැකි පුද්ගලයෙකු බවයි. මේ වන විට මෛත්‍රී ඒ විශ්වාසය කඩ කර ඇත. එපමණක් නොව චන්ද්‍රිකාට පවා දැන් මෛත්‍රී හමුවීම අපහසුය. චන්ද්‍රිකාගේ පසුතැවිල්ල දැන් ඵලදායි ක්‍රියාව වන්නේ ඡන්ද විමසීමේදී ශ්‍රීලනිප හා ශ්‍රී ලංකා පොදු පෙරමුණ යෝජනාවට විරුද්ධව ඡන්දය දිය යුතු බවට චන්ද්‍රිකා විසින් තරයේ යෝජනා කිරීම මගිනි. එසේ නොකළ හොත් ඇයද අපරාධ සහායිකාවක් වනු ඇත.
අවසාන වශයෙන් ජනවාරි 08 ජනතා අපේක්ෂා පාවා දුන් ද්‍රෝහියා බවට පත්වීමේ අපවාදයෙන් ගැලවීමට නම් මෛත්‍රී කළ යුත්තේ විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය දීමට ශ්‍රීලනිප හා එ.ජ. නි. සං පෙරමුණ මෙහෙවීමයි. එලෙස කටයුතු කරන විට ඔහු සමග දැනට ව්‍යාජ හිතවත්කම් පාමින් සිටින මහින්ද භක්තිකයින් ඔහු හැර යනු ඇත. එය නරක දෙයක් නොවේ. ඉතා හොද දෙයකි. ඉතා ප්‍රමාද වී හෝ මෛත්‍රීට හා චන්ද්‍රිකාට එක්වී ඓතිහාසික පියවරක් ගැනීමට එවිට පොට පෑදෙනු ඇත. එනම් විශ්වාසභංගය පරාජය කිරීම පමණක් නොව ශ්‍රීලනිප සුද්ද කිරීමටද මෙය අවස්ථාවක් කර ගත හැක.
මෛත්‍රී එවැනි පියවරක් ගත හොත් ඔහු යලිවරක් පොදු අපේක්ෂකයා ලෙස ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට පවා එජාපය එකග වනු ඇත.
විශ්වාභංගය විවාදයට ගැනීමට පෙර අගමැතිවරයා තනතුරෙන් ඉවත් වීම කිසිසේත් නොකළ යුතුය. එසේ කිරීමෙන් සිදුවන්නේ මහින්ද රාජපක්ෂ නිතරඟ ජයක් ලබා දීමයි. එමෙන්මඑය වරද පිලිගැනීමටද වනු ඇත. මහින්ද මෙන්ම මෛත්‍රීද ප්‍රාර්ථනා කරන්නේද එවැනි තත්වයකි. එමගින් මෛත්‍රීට අපරාධ චෝදනාවෙන් මිදිය හැකිය. එය නොකළ යුතුය. මෙමවිශ්වාසභංග යෝජනාව අගමැතිට පමණක් නොව ජනාධිපති ඇතුළු සමස්ථ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් බව සියළු ඇමතිවරුන් ශ්‍රීලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණත් ඒත්තු ගැනීම සඳහා ඉදිරි දින 3 එජාපය මිඩංගු කළ යුතුය.
මහින්ද පාර්ශවය විශ්වාසභංගය ජයගතහොත් එමගින් සිදුවන්නේ රට ජනවාරි 8 ට ආපසු ගෙනයාමයි. මහින්ද රාජපක්ෂ ක්‍රියාත්මක වන්නේ සිංහල බෞද්ධ නායකයෙකු වශයෙන් මිස ලාංකීය ජාතික නායකයෙකු වශයෙන් නොවේ. ජාතික ආගමික සමගිය හා සංහිදියාව වෙනුවෙන් පෙනී සිටි හා පෙනී සිටින රනිල් හැර එජාපයට පිලිගත හැකි වෙනත් නායකයෙකු ගොඩ නගා ගැනීම නුදුරු අනාගතයේදී ඉතා අසීරු වනු ඇත. රනිල් පරාජය කිරීමේදී ප්‍රධාන වින්දිතයා වන්නේ ජාතික සමගිය හා සංහිදියාවයි. ප්‍රධාන ජයග්‍රාහකයා වන්නේ වර්ගවාදය හා ආගම් වාදයයි. එහිදී ලෝක ප්‍රජාව දිනා ගැනීමේ චෙස් ක්‍රීඩාවේ පලමු කොටුවට යලි වරක් ලංකාවට පසු බැසීමට සිදුවනු ඇත.
ජනවාරි 08 දිනා ගැනීමේ ව්‍යාපාර
0 comments :
Post a Comment