බෙලිහුල් ඔයේ සැඟවී ගිය සබරගමු සිසුන් තිදෙනාගේ ඛේදවාචකය

https://www.gossiplankanews.com/2018/11/belihuloya-tradergy.html#more
ලන්ගොඩ, බෙලිහුල්ඔයේ පහන්තුඩාව වළට වැටී සබරගමුව සරසවියේ සිසුන් තිදෙනකු දියේ ගිලී අසාධ්‍ය තත්ත්වයට පත්ව බළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව පෙරේදා (10දා) දහවල් මියගියහ.
මෙම කන්ඩායම සමග සිට දිවි බේරාගත් තෙවන වසරේ ඉගෙනුම ලබන
බාලසුන්දරම් අජිත් (25) යන අය සිද්ධිය විස්තර කළේ මෙසේය.
'අපි හත් දෙනා සබරගමුව විශ්වවිද්‍යාලයේ භූ විඥාපන විද්‍යා  පීඨයේ ඉගෙන ගන්නවා.හත් දෙනෙක් එකම කාමරයක නවාතැන් ගෙන සිටින්නේ .  අපි සියලු දෙනාම යාපනයේ පදිංචිකරුවන්. පසුගිය 10 දින නිවාඩු දිනයක් නිසා අපි තීරණය කළා බෙලිහුල්ඔය පහන්තුඩාව ඇල්ල බලන්න යන්න. ඒ අනුව බළන්ගොඩ, ගලගම, ළඳුයාය හරහා ධාවනය කරන බස් රථයේ නැගී පහන් තුඩාව ඇල්ල අසලට ගියා උදේ 9 ට විතර ඇති.
අපි හයදෙනෙක් පහන්තුඩාව දිය ඇල්ලට ඉහළින් දිය නාමින් සිටියා.

එක යාළුවෙක් නාන්නේ නැතුව ගොඩට වෙලා හිටියා. පහන්තුඩාව දිය ඇල්ල එකම තැනකින් බැස යන්නේ. අපේ  යාළුවෝ පස් දෙනෙක් එම දිය පහර අත්වලින් හා ඇගෙන් වැසීමට උත්සාහ කළා.

මම ඊට ඉහළ වළේ පීන පීන හිටියේ. එකවරම ගලා ආ වතුර පාරට දිය පහර හරස් කරමින් සිටි යාළුවන් පස් දෙනා පහළ වළට වැටුණා. මට විතරයි පිනන්න පුළුවන්. ගොඩ හිටපු අපේ යාළුවට කෑ ගහලා කිව්වා අහල පහළ කවුරු හරි හොයාගෙන එන්න කියලා. ඔය අතර වළට වැටුණු යාළුවන් දෙදෙනෙක් කොහොම හරි ගල් ඇන්දක එල්ලුණා.

මම වහාම ඒ  දෙන්නා ගොඩට ගත්තා. පසුව අහල පහළ අය සමග එකතු  වෙලා ඉතිරි තිදෙනා ගොඩට ගෙන ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ වාහනවලින් රෝගීන් බළන්ගොඩ මූලික රෝහලට රැගෙන ආවා. මේ අය ගොඩට ගන්න ඒ අසල තිබෙන පෞද්ගලික විදුලි බලාගාරයේ සේවකයනුත් අපට උදව් කළා. කොහොම වුණත් මේ අය රෝහලට ගෙන විනාඩි හතළිස් පහක් විතර ගතවුණා. රෝහලේ වෛද්‍යවරු ඇතුළු  කාර්ය මණ්ඩලය ගොඩාක් මහන්සි වුණා. නමුත් වැඩක් වුණේ නැහැ. ඒ තිදෙනාම මියගොස් තිබුණා."‍

මෙලෙස මියගොස් ඇත්තේ සබරගමුව සරසවියේ භූවිද්‍යා පීඨයේ තුන් වැනි වසරේ ඉගෙනුම ලැබූ වට්ටකොටු යාපනයේ පදිංචිව සිටි සරවනභවන් කෝපිශාන් (24), නන්පුර් යාපනයේ පදිංචිව සිටි ගෝපාල් ක්‍රිෂ්ණන් සාරංග (25), එනිවෙල් හන්දිය යාපනයේ පදිංචිව සිටි සෙවලත්නමි ටිෂාන් (25) නමැති සරසවි සිසුන් තිදෙනකු බව පොලිසිය කියයි.

 තුන්දෙනා මෙලෙස මිය ගොස් ඇත්තේ පහන්තුඩාව වළට වැටී දියේ ගිලීමෙනි. පහන්තුඩාව වළට ඉහළ ඇති දිය පහරත් සමඟ ලිස්සා මෙම සිසුන් තිදෙනා වළට වැටී ඇති බව පොලීසිය කියයි.

සිසුන් පහන්තුඩාව වළට වැටී දියේ ගිලීමත් සමඟ අනෙක් සිසුන් විසින් මේ බව ප්‍රදේශවාසීන්ට සහ පොලිසියට දන්වා තිබෙන අතර එහිදී ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව විශාල වෙහෙසක් දරා සිසුන් තිදෙනා ගොඩට ගෙන බළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇත.

මියගිය සරසවි සිසුන් තිදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී වෛද්‍ය වාර්තාව සැලකිල්ලට ගනිමින් බළන්ගොඩ වැඩ බලන හදිසි මරණ පරීක්ෂක  එස්. එම්. අයි. ඩී. මිගස්දෙණිය මහතාගේ නිගමනය වූයේ දියේ ගිලීමෙන් හුස්ම හිරවී මරණ සිදුවී ඇති බවයි. මෙම ස්ථානය නෑමට සුදුසු ස්ථානයක් නොවන අතර එහි අවදානම පිළිබඳව අදාළ ආයතන මගින් නාම පුවරුවක්වත් සවි කර නොතිබීම පිළිබඳ මරණය පරික්ෂකවරයා සිය කනස්සල්ල පළ කළේය. දිය නෑමට ගොස් මෙම ස්ථානයේ පුද්ගලයන්  විසි දෙනකුට වඩා වැඩි පිරිසක් මියගොස් ඇති බවත් දිය නෑමට  පැමිණෙන පුද්ගලයන්ද පිටස්තර ස්ථානවලදී දිය නෑමේදී මීට වඩා සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බව මරණ පරීක්ෂකවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.

-සරත් වීරවංශ-නලින්ද වලේබොඩ-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment