පාසැල් බැඩ්මින්ටන් බලධාරීන්ගෙන් කුඩා පාසැල් දරුවන්ට අමිහිරි අත්දැකීමක්!


පසුගියදා කුරුණෑගලදී නිමාවට පත් වූ අවුරුදු 11න් පහළ සමස්ථ ලංකා යුගල පාසැල් බැඩ්මින්ටන් තරගාවලිය මෙයට පෙරදී මෙන් මෙවරද අදුරදර්ශී ක්‍රියාදාමයන් සිදුකළ තරගාවලියක් බවට පත්කළ පාසැල් බැඩ්මින්ටන් බලධාරීන් එම තරගාවලියට සහභාගී වූ කුඩා පාසැල් දරුවන්ට අමිහිරි අත්දැකීම් එකතු කර දීමට කටයුතු කර තිබුණි.

එනම් බෝයගන යුධ හමුදා හා කුරුණෑගල වෙලගෙදර ගෘහස්ථ ක්‍රීඩාංගනය කේන්ද්‍ර කරගනිමින් පැවැති මෙම තරගාවලියේදී කාණ්ඩ අනුව වෙන් කළ පාසල් සඳහා දෙයාකාරයකින් සලකා තිබු අතර, පාසල් බැඩ්මින්ටන් සංගමයේ ප්‍රධාන නිලතලයක් උසුලනු ලබන නිලධාරියෙකු පුහුණු කරනු ලබන පාසල් දෙකට කිසිදු අපහසුවකින් තොරව අවසන් මහා තරගයට යෑමේ අවස්ථාව උදා කර දීමද බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණු කරුණක් විය.

තරගාවලියට අදාලව වයස් ප්‍රමාණය ඉක්මවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වෙනම නීතියක් ද, වයස් ප්‍රමාණය සපුරා නොමැති ක්‍රීඩිකාවන් සඳහා වෙනම නීතියක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත්තේද එම නිලධාරීන්ගේ වාසියට බව තරගාවලියට සහභාගී වූ බෝහෝ දෙනාගේ අදහස විය.

පාසැල් බැඩ්මින්ටන් සංගමයේ ප්‍රධාන නිලතලයක් උසුලන එකී නිලධාරියා පුහුණු කරනු ලබන පාසලක් මෙම නීතියට අනුව යමින් අවසාන මහා තරගයට පැමිණීම කැපී පෙනේ.

තවද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පිරිනැමෙන කුසලානය සඳහාද අමුතු ආකාරයේ ක්‍රමවේදයක් අනුගමනය කර තිබු අතර එහිදී "ඒ" , "සී" , "ඩි" හා "ඊ" කාණ්ඩ යටතේ තරග වැදුණු ජයග්‍රාහි පාසැල් නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා රන් කුසලානයෙන්, "බී" කාණ්ඩයේ පාසැල් දෙකක් සඳහා පමණක් රිදී කුසලාන පිරිනැමීමද බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණා.

තවද සහතික පත්‍ර ප්‍රදානය කිරීමේදී පාසැල් බැඩ්මින්ටන් සංගමයේ සභාපතිවරයාගේ අස්සන නොමැතිව සහතික පත් නිකුත් කර තිබීමද තරගාවලියේ සංවිධාන පිලිබඳ දුර්වලතාවට තවත් එක් උදාහරණයකි.

කෙසේ වෙතත් හය හතර නොදත් පුංචි දරුවන් වෙනුවෙන් පාසල් සංගමයක් මෙසේ දෙයාකාරයෙන් කටයුතු කිරීම කිසිසේත් පිළිගත නොහැකි අතර, මෙවැනි දේවල් නිරන්තරයෙන් සිදුවුණහොත් පරිහානියට පත් වන්නේ රටේ සමස්ත බැඩ්මින්ටන් ක්‍රීඩාවද, එසේත් නැත්නම් එහි පාලකයන් යන්න විමසා බැලිය යුතුය.

[විචිත්‍ර වීරසිංහ]

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment