චීන වරායේ තෙල් ටැංකි කපා යකඩවලට විකුණන්න තැත් කළ පුද්ගලයින් කොටු

දෙවන ලෝක යුද සමයට පෙර බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ විශ්මිත නිර්මාණයක් ලෙස ලංකාවට දායාද වූ චීන වරායේ පිහිටි තෙල් ටැංකි යකඩවලට විකිණීමට කැපූ අටදෙනකු ඉකුත් 27 වැනිදා අත්අඩංගුවට ගත් බව චීන වරාය පොලිසිය කියයි.

දැනට මෙම තෙල් ටැංකි ලංකා ඉන්දීය තෙල් සමාගම  (අයි.ඕ.සී) පරිශ්‍රයේ පිහිටා ඇති අතර එම සමාගමේ ආරක්ෂක අංශය කළ පැමිණිල්ලකට අනුව විමර්ශනයක් සිදුකර මෙම සැකකරුවෝ ටැංකිවලින් කපා ඉවත් කළ තහඩු තොගයක් සමග අත්අඩංගුවට ගනු ලැබූහ.  
කැලෑවට වැසි ඇති කොටසින් තෙල් ටැංකි පරිශ්‍රයට ඇතුළු වී මෙම විනාශය සිදුකර ඇති අතර එය කාලයක් තිස්සේ සිදුකර ඇතැයි පොලිස් පරික්ෂණවලින් හෙළිකර ගැනීමට මූතූර්. චීනවරාය භාර සහකාර පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සමත් වූයේය.

කලක සිට යකඩ හොරු විසින් ටැංකි කිහිපයක් කපා ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් ටැංකි දෙකක් කපා යකඩ තහඩු ඉවත්  කරගෙන ගොස් තිබේ. ලංකා ඉන්දීය තෙල් සමාගම චීන වරාය පොලිසියට කළ පැමිණිලෙත් මෙම ටැංකි දෙකට කළ හානිය ලක්ෂ අනූවක් ලෙස දැනුම් දී තිබේ.

ත්‍රිකුණාමල වරායට අවශ්‍ය ඉන්ධන ලබාගැනීම සඳහා එවකට ලංකාව යටත් කරගෙන සිටි බ්‍රිතාන්‍යය ඡාතිකයන් 1924 දී ටැංකි 101ක් ඉදිකර 1930 දී වැඩ අවසන් කර තිබුණි. මෙම ටැංකි අගල් 2 1/2 යකඩ තහඩු රිවට් ඇණවලින් සවිකර ඉදිකර තිබුණු විශ්මිත නිර්මාණයක් ලෙසින් සැලකේ. අක්කර 685 වපසරියක් තුළ විහිදී ඇති ටැංකි වැඩි කොටසක් කැලෑවට ගොස් තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතාගේ මෙහෙයවීම යටතේ චීන වරාය වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක කුඹුරේගම මහතා වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

 -අමදෝරු අමරජීව-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment