නාමල් කුමාර අත්අඩංගුවට ගැනීමට ජනපතිගෙන් බාධා.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ගෝඨාභය රාජපක්‍ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේයැ’යි අසත්‍යයක් කියමින් පසුගිය කාලයේ මාධ්‍ය හරහා මහත් ආන්දෝලනයක් ඇති කළ නාමල් කුමාර නමැත්තා අත්අඩංගුවට ගැනීමට, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බාධා කරමින් සිටින බව ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.

නාමල් කුමාර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ, මකා දමන ලද දූරකථන සංවාද ඇතුළත් ජංගම දූරකථනය, අධිකරණ නියෝගය මත හොංකොංහි ඩිජිටල් ටෙක්නොලොජි ආයතනයට යවා එහි මකා දැමූ සංවාද පුනරුත්පාදනය කරන ලදි. එසේ පුනරුත්පාදනය කරන ලද සංවාද 531ක් පරීක්‍ෂා කළ විට, විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් ඝාතනය කිරීමට ඔහු කුමන්ත්‍රණය කළ බව තහවුරු වන දෙබස් ද එහි අන්තර්ගත වන බව, විමර්ශන නිලධාරීන්ට දැනගන්නට ලැබී තිබේ. මේ තත්ත්වය මත නාමල් කුමාර අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් කරුණු තිබෙන නමුත්, තවමත් එය සිදුවී නැත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ බාධාකාරී බලපෑම් නිසා බවද වාර්තා වෙයි.
මීට පෙරද, විවිධ අපරාධ චෝදනාවලට ලක්වූ ගෝඨාභය රාජපක්‍ෂ, වසන්ත කරන්නාගොඩ, රවි විජේගුණරත්න වැනි හමුදාවලට සම්බන්ධ අය අත්අඩංගුවට ගන්නට සූදානම් වන විට ජනාධිපතිවරයා විරෝධය පා ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණ.

නාමල් කුමාරගේ දූරකථනවලම අඩංගු සංවාද මත ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන ලදැයි යන චෝදනාව යටතේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට ගනු ලැබ දැනට ඉන්නේ රක්‍ෂිත බන්ධනාගාරගතවය.
නාමල් කුමාර ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත්කර නාවික හමුදාවට හා යුද හමුදාවට බැඳී තිබෙන බවත්, පසුව යුද හමුදාවෙන් නීති විරෝධීව පැනගොස් ඇති බවත් මේ වන විට හෙළිවී තිබෙන අතර, යුද හමුදාව එම චෝදනා සම්බන්ධයෙන් නාමල් කුමාර අත්අඩංගුවට ගෙන හමුදා අධිකරණයක් ඉදිරියට පැමිණවීමට පියවර ගනිමින් සිටියි.

(අරුණ ජයවර්ධන | අනිද්දා)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment