රසායන විද්‍යා ප්‍රශ්න වංචාවට සැක කළ වෛද්‍ය පියා හා පාසල් සිසු පුතා ඇතුළු තිදෙනෙකුට ඇප ටියුෂන් ගුරු හා සොයුරු දිගටම රිමාන්ඩ්


රසායන විද්‍යා ප්‍රශ්න වංචාවට සැක කළ
වෛද්‍ය පියා හා පාසල් සිසු පුතා ඇතුළු තිදෙනෙකුට ඇප

ටියුෂන් ගුරු හා සොයුරු දිගටම රිමාන්ඩ්


පසුගියදා රටේ ආන්දෝලනයක් ඇති කරවමින් උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න සහිත පත්‍රිකාවක් බෙදාහැරිම හා ඒ ඔස්සේ හෙළිවූ අධිතාක්ෂණික විභාග වංචාවට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සතියකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි රාජකීය විද්‍යාලයේ උසස් පෙළ සිසු සෂික බංගමුආරච්චි (19) සිසුවාත් ඔහුගේ පියා වන දන්ත වෛද්‍ය සේනාධි බංගමුආරච්චිත් 
ටියුෂන් ගුරුවරයාගේ පියා වන ආර්. ඒ. ජයසේනත් එක් අයකුට රුපියල් 10,000 බැගින් වු මුදල් ඇපයක් ද ලක්ෂ දෙක බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරිණි.
ජිනේන්ද්‍ර රණසිංහ නමැති ටියුෂන් ගුරුවරයා හා නුවන් රණසිංහ නමැති ඔහුගේ සොයුරාට ඇප නොලැබුණ අතර ලබන 16 වැනිදා දක්වා රිමාන්ඩ් කිරිමට ගම්පහ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මින් ඉහත මෙම නඩුවට අදාළව ගම්පහ ප්‍රදේශයේ මුද්‍රණාලයක්‌ පවත්වාගෙන යන ලෝචන සුරංග පෙරේරා නමැත්තෙකු සිද්ධියට සෘජු සම්බන්ධයක් නැති නිසා පසුගිය 30 වනදා ඇප ලබා නිදහස්ව තිබුණි.
අද ඇප මත නිදහස්වූ රාජකීය විද්‍යාලයේ සිසුවා අද දින පැවැත්වෙන උසස් පෙළ අවසාන විභාග ප්‍රශ්න පත්‍රයවූ සාමාන්‍ය පොදු පරීක්ෂණයට පෙනී සිටීමට අධිකරණ අවසරය ලබා එම විභාගයට පෙනී සිටීමටද නියමිතව සිටියේය.
ඔහුට අධි තාක්ෂණික වංචාව සිදු කිරීමට අවශ්‍ය තාක්ෂණික උපකරණ විදේශවලින් ගෙන්වා දී තිබුනේ පොලිස් රෝහලේ සේවය කළ ඔහුගේ දන්ත වෛද්‍ය පියා විසින් බවට කරුණු අනාවරණය විය. රසායන විද්‍යා ටියුෂන් ගුරුවරයා විභාගය පැවැත්වෙන අවස්ථාවේ බොරැල්ල කොටා පාරේ පිහිටි දන්ත වෛද්‍යවරයාගේ නිවසේ සිට සජීවී පිළිතුරු ලබාදීමේ සේවයක් සපයා තිබුනේද දන්ත වෛද්‍යවරයාගේ රුපියල් ලක්ෂ 10 ක කොන්ත්‍රාත්තුවකට බව පොලිස් පරීක්ෂණ වලදී

හෙළිවී තිබුණි.
ස්පයි කැම් තාක්ෂණයෙන් විභාග ප්‍රශ්න අන්තර්ජාලයට යවා බ්ලූටූත් තාක්ෂණයෙන් දුරකථන ඔස්සේ පිළිතුරු ලබාගනිමින් සිදු කළ මෙම අධිතාක්ෂණික විභාග වංචාව මින් ඉහත ලංකාවේ වාර්තා නොවූ විරූ ගණයේ එකක් විය.
මේ හේතු නිසාම විභාග දෙපාර්තමේන්තුව ඉදිරි විභාග සඳහා ඒවාට මුහුණදීමට අවශ්‍ය සැලසුම් ගැන කල්පණා කරන ලද අතරම මෙවැනි වංචාවන් තහවුරු වූ අයට සදාකාලික විභාග තහනමක් පනවන බවටද දැනුම්දී තිබුණි.
අද ඇප ලබාගත් ඔවුන් සෑම සතියකම ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළ අතර ඔවුන්ට විදේශ ගමන්ද තහනම් කෙරිණ.
නඩු විභාගය ඉදිරියටත් පැවැත්වේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment