’‘බොරුවයි මුළාවයි ඇර කිසි දෙයක් නෑ..” - නව වසරේ පළමු ට්වීටයෙන් ට්‍රම්ප් පාකිස්ථානයට පහර දෙයි.

’‘බොරුවයි මුළාවයි ඇර කිසි දෙයක් නෑ..” - නව වසරේ පළමු ට්වීටයෙන් ට්‍රම්ප් පාකිස්ථානයට පහර දෙයි.

"The United States has foolishly given Pakistan more than 33 billion dollars in aid over the last 15 years, and they have given us nothing but lies & deceit, thinking of our leaders as fools“

එහි සිංහල අදහස මෙසේ ය. “ඇමරිකාව පාකිස්ථානයට පහුගිය අවුරුදු 15 තිස්සේ ඩොලර් බිලියන 33කට වඩා දීල තියෙනවා. නමුත් ඔවුන් අපට කිසි දෙයක් දීල නැහැ, බොරුවයි මුළාවයි ඇරෙන්න, අපේ නායකයො මෝඩයො කියල හිතාගෙන..”

අනතුරුව සුපුරුදු පරිදි දෙවන, තුන්වැනි ට්වීට් වශයෙන් ට්‍රම්ප් දිගින් දිගටම ට්වීට් කරන අතර දෙවැනි ට්වීටයෙන් දැක්වෙන්නේ “අප ඇෆ්ගනිස්ථානයේදී දඩයම්කරන ත්‍රස්තවාදීන්ට ඔවුන් ආරක්ෂාව දෙනවා..” යනුවෙනි.

මේ සමගම පාකිස්ථානයට ඉදිරියේදී ලබාදෙන ඇමරිකානු ආධාර කපා හැරීම පිළිබඳව ද ධවල මන්දිරය මේ වන විට සාකච්ඡා කරමින් සිටියි. නිව්යෝක් ටයිම්ස් පුවත්පත පසුගියදා සඳහන් කළේ පාකිස්ථානය විසින් ත්‍රස්තවාදී ගැටළුව හසුරවන ආකාරය පිළිබඳ ට්‍රම්ප්ගේ බලාපොරොත්තු සුන් වී ඇති නිසා පාකිස්ථානය වෙත ලබාදීමට නියමිත ව තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 255 ක මුදලක් අත්හිටුවීමට ඉඩ ඇති බවයි. මේ අතර, ටයිම්ස් සඟරාව වාර්තා කරන්නේ එම ආධාරය සම්පූර්ණයෙන්ම නතර කිරීම පිළිබඳ තීරණයක් ගැනීමට ධවල මන්දිර නිලධාරීන් සාකච්ඡා පැවැත්වූ බවයි.

ඇමරිකානු ආරක්ෂක ලේකම් රෙක්ස් ටිලර්සන් ද ත්‍රස්තවාදීන් මුලිනුපුටා දැමීම සඳහා මීට වඩා උනන්දුවෙන් කටයුතු කරන්නැයි පාකිස්ථාන බලධාරීන් හට පවසා තිබිණි.

තලෙයිබාන් සිරකරුවන් වශයෙන් රඳවා තබාගෙන සිටි ඇමරිකානු ජාතික කැයිල්ටන් කෝල්මන් සහ ඇගේ කැනේඩියානු සැමියා නිදහස් කරදීමට 2017 ඔක්තෝබර් මාසයේදී ඇමරිකාවට උපකාර කළේ ද පාකිස්ථානයයි. මෙවිට ට්‍රම්ප් ට්වීට් කර තිබුණේ “ඇමරිකානු-පාකිස්තානු සබඳතාවලට ඉතාම ධනාත්මක ප්‍රවණතාවක්” යනුවෙනි. “පාකිස්ථානය නැවතත් ඇමරිකාවට ගරු කරන්නට පටන් අරන්“ යැයි ද ඔහු පැවසුවේය.

කෙසේ නමුත් ඇමරිකා එක්සත් ජනපදය සහ පාකිස්ථානය අතර අතීතයේ පටන්ම පවතින්නේ යහපත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවක් නොවේ. 2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමරිකානු ලෝක වෙළඳ මධ්‍යස්ථානයට බෝම්බ ප්‍රහාර එල්ල වීමෙන් අනතුරුව එවකට ඇමරිකානු පාලනය, ‘ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය‘ ලෝක පරිමාණයෙන් ආරම්භ කළේ ඇෆ්ගනිස්ථානයෙනි. ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානයේ අසල්වැසියා ය. තලෙයිබාන් පාලනය මුලිනුපුටා දැමීමට ඇමරිකාවට හැකිවුවද ඇෆ්ගනිස්ථානයේ ප්‍රහාර දියත් කරන ත්‍රස්තවාදීන් පාකිස්ථානයේ රැකවරණය ලබති. ඔබාමා සමයේදී අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩෙන් ඇමරිකානු නේවි සීල් භටයන් විසින් මරා දැමුණේ ඔහු පාකිස්ථානයේ සැඟව සිටියදී ය.

කෙසේ නමුත් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙසේ තවදුරටත් පළුදු කර ගැනීම හරහා ත්‍රස්තවාදී ප්‍රශ්නය විසඳාගත හැකිදැයි යන්න විමසා බැලිය යුතුය. විශේෂයෙන්ම ඇමරිකාව ප්‍රමුඛ බටහිර ජාතීන් සහ යුරෝපය විටින් විට ලක්වන ත්‍රස්තවාදී උවදුරු සලකා බැලීමේදී ලෝකයේ මුස්ලිම් රටවල් පීඩාවට පත්කිරීම නිසා රාජ්‍ය ආරක්ෂාවට එල්ල විය හැකි සෘජු හා වක්‍ර බලපෑම් සැලකිල්ලට ගත යුතුය. මෙයින් සිදුවන්නේ අලුත් සතුරන් ඇති කර ගැනීම යැයි ජාත්‍යන්තර විචාරකයෝ පෙන්වා දෙති.

- අමාලි ජයවීර

අවුට් බවුන්ඩ් ටුඩේ | outboundtoday.com

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment