භූමිතෙල් සහනය අවභාවිත කළොත් ඉන්ධනහල් තහනම්

භූමිතෙල් සහනය අවභාවිත කළොත් ඉන්ධනහල් තහනම්

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (22) ඉන්ධන අවභාවිතය වැළැක්වීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග සහ නව නීති ගැන දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකදීය.

මින් පසු භූමිතෙල් සහනාධාරය අවභාවිත කරන ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍රය වහාම අහෝසි කරන බවත්, ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන් හා එක්ව ඉදිරිපත් කළ ඒකාබද්ධ සංදේශයට කැබිනට් මණ්ඩල‍‍යේ අනුමැතිය හිමි වූ බවද අර්ජුන රණතුංග අමාත්‍යතුමා එහිදී කියා සිටියේය. එම අනුමැතියට අනුව කිසියම් ඉන්ධන පිරවුම්හල් හිමියෙක් නීති විරෝධී ලෙස ඉන්ධන මිශ්‍ර කිරීම හෝ භූමිතෙල් සම්බන්ධ වෙනත් නීති විරෝධී කටයුත්තක් සඳහා සහය දැක්වීමක් සිදු කොට අනාවරණය වුවහොත් ඔහුගේ පිරවුම්හල් බලපත්‍රය ‍අහෝසි කිරීම සිදු කෙරෙන බවද අමාත්‍යවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"පසුගිය කාලයේ අනපේක්ෂිත ලෙස භූමිතෙල් පරිභෝජනය ඉහළ ගොස් ඇතැයි දැන් අනාවරණ වී තිබෙනවා. ‍2014 වර්ෂයේදී ලංකා භූමිතෙල් සමස්ත අලෙවිය කිලෝලීටර් 1, 38, 505 කි. 2017 වර්ෂයේදී එය කිලෝ ලීටර් 1,98,090 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 2018 ජනවාරි සිට පෙබරවාරි 28 වැනිදා දක්වා කාලය තුළ ලංකා භූමිතෙල් කිලෝලීටර් 44, 137. 5ක් අලෙවි තිබෙනවා. මේ වැඩි වීම වුණේ ඩීසල්වලට භූමිතෙල් කවලම් කර විකිණීම, බස්රථවලට සහ බවුසර් රථවලට ඩීසල් වෙනුවට භූමිතෙල් මහා පරිමාණයෙන් යෙදවීම, මහා පරිමාණ කර්මාන්ත ශාලාවල භාවිතයට කාර්මික භූමිතෙල් වෙනුවෙට ලංකා භූමිතෙල් භාවිත කිරීම. එය ඍජු ලෙසම මහජනතාවට ලබා දෙන භූමිතෙල් සහනාධාරය අවභාවිත කිරීමක්. එම තත්ත්වය මත 2017 වර්ෂයේදී පමණක් ලංකා භූමිතෙල් අලෙවියෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට වූ පාඩුව රුපියල් මිලියන 5,460ක්.

2018 වසරේ ජනවාරි - පෙබරවාරි 28 දක්වා කාලයේදී වුණු පාඩුව රුපියල් මිලියන 2,146ක්. ඒ අනුව භූමිතෙල් සහනාධාරය අවභාවිත කිරීම නතර කිරීම සඳහා ඉක්මන් පියවර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා ද පෙන්වා තිබෙනවා. ඉන්ධන අවභාවිතය වැළැක්වීමට මේ වන විට අමාත්‍යාශයේත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේත් CPSTL ආයතනයේත් ඒකාබද්ධ වැටලීම් තිබෙනවා."

දයා නෙත්තසිංහ

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment