සියලු ආණ්ඩුකාරවරුන්ට මාරුවක් : රෙජිනෝල්ඩ්ට ලොකු ඉල්ලුමක්!

සියලුම පළාත් ආණ්ඩුකාරවරුන්ගේ වෙනසක් ඉදිරි දින කීපය තුළ සිදු කිරීමට යන බවත් ඒ අනුව ලබන 06 වැනිදා නව පළාත් ආණ්ඩුකාරවරුන් දිවුරුම් දීමට නියමිත බවත් රජයේ ආරංචි මාර්ග පවසයි.

ජනාධිපතිවරයා මීට පෙර මේ සම්බන්ධයෙන් සියලුම ආණ්ඩුකාරවරුන් කැඳවා සාකච්ඡාවක් පවත්වා ඇති බවද ඒ අනුව වහාම මෙම වෙනස් කිරීම් සිදු කිරීමට ඉඩ ඇති බවද වාර්තා වේ.

ඒ අනුව බොහෝදුරට සිදුවන්නේ දැනට රාජකාරියේ නියුතු පළාත්වලින් ආණ්ඩුකාරවරුන් වෙනත් පළාත්වලට මාරු කිරීමය.

එක් ආණ්ඩුකාරවරයකුගේ සේවා කාලය අවුරුදු තුනකට පමණක් සීමා වීම මෙම වෙනස් කිරීම්වලට හේතුව වී ඇති බවද පැවැසේ.

රෙජිනෝල්ඩ්ට ඉහල ඉල්ලුමක්

මේ අතර උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සිය පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කරන්නැයි පළාත් කිහිපයකම පළාත් මහ ඇමැතිවරුන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ සහ විශේෂයෙන් නැවත වරක් උතුරු පළාතෙන්ද රෙජිනෝල්ඩ් කුරේ මහතා ආණ්ඩුකාරවරයා ලෙස පත් කරන්නැයි ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ.

එසේ වුවද රෙජිනෝල්ඩ් කුරේ මහතා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කර දැනට ගත වී ඇත්තේ වසර දෙකක් පමණි.

නමුත් එම කාලය තුළ උතුරු ප්‍රදේශයේ සංවර්ධනයට සහ සංහිඳියාව වෙනුවෙන් විශාල වැඩකොටසක් ඉටු කිරීමත්, උතුරු - දකුණු සංහිඳියාව ඇති කිරීමට මූළිකත්වය ගෙන කටයුතු කිරීමටත් හේතුවෙන් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාට විශාල ජනතා ප්‍රසාදයක් හිමිව ඇතැයි උතුරු පළාත් මන්ත්‍රීවරු පවසති.

මේ හේතුවෙන් උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා සහ පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් නැවත වරක් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස රෙජිනෝල්ඩ් කුරේ මහතා පත් කරන්නැයි ඉල්ලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිඛිතව සහ වාචිකව ඉල්ලීමක් සිදු කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය සබරගමුව පළාතට වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් මාරු කිරීමට නියමිතය. ඇය මෙම තනතුරට පත්වූයේ 2015 ජනවාරි මස 8 වැනිදායින් පසුව මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපති ලෙස ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුවය.

ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය ලබන මස 6 වැනි දින සබරගමුව පළාත් සභාවේ වැඩ භාරගැනීමට නියමිතය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment