
ඇමරිකාව විසින් ජෙරුසලමේ තානාපති කාර්යාලය විවෘත කිරීමට එරෙහිව පැවති උද්ඝෝෂණය සඳහා පලස්තීනුවන් දස දහස් සංඛ්‍යාවක් එක් වී සිටි අතර, වෙඩි තැබීම සිදුකෙරුණේ ඔවුන් මර්දනය කිරීමේදී ය.
පලස්තීන වාර්තාවලට අනුව ගාසා තීරයේ නැගෙහිර මායිමේ පිහිටා තිබෙන ආරක්ෂක වැට අසල ස්ථාන 13 ක පලස්තීනුවන් 40,000 කට ආසන්න පිරිසක් උද්ඝෝෂණය කළ අතර, හමුදා ප්‍රහාරයෙන් 58 දෙනෙක් මිය යද්දී 4700 දෙනෙක් පමණ වෙඩි වැදී තුවාළ ලබා සිටිති.
අද දිනයේ පලස්තීනුවන් විසින් වාර්ෂිකව අනුස්මරණය කරන ‘නක්බා‘ දිනය ද යෙදී තිබේ. ‘නක්බා‘ යනු ‘මහා විපත‘ යන්නයි. 1948 වසරේ ඊශ්‍රායලය නිර්මාණය කිරීමේදී පලස්තීනුවන් 700,000කට ආසන්න සංඛ්‍යාවක් සිය උපන් බිමෙන් නෙරපා හැරීම ‘නක්බා‘ මගින් සිහිපත් කෙරේ. එදිනට පෙර දිනයේ ඊශ්‍රායලය මෙම පලස්තීන සංහාරය සිදුකිරීම විශේෂත්වයකි.
2014 ගාසා යුද්ධයෙන් පසු පලස්තීනය රුධිරයෙන් නැහැවුණු අපකීර්තිමත් දිනයක් ලෙස අද දිනය මේ අනුව ලෝක ඉතිහාසයට එක් වනු ඇත. තවදුරටත් ප්‍රහාර එල්ල වේ යැයි බියෙන් මියගිය 58 දෙනාගේ අවමංගල්‍ය කටයුතු වෙරළබඩ ප්‍රත්‍යන්තයක සිදුකිරීමට නියමිත අතර පෙළපාලි හෝ වෙනත් විරෝධතා ගාසා තීරයේ සංවිධානය නොකරන බව ද දැනට වාර්තා වේ.
ට්‍රම්ප්ගේ භයානක විහිළුව
ඊශ්‍රායලයේ ටෙල් අවීව් අගනුවර පිහිටා තිබූ ඇමරිකානු තානාපති කාර්යාලය ජෙරුසලම වෙත ගෙන යන බවට ට්‍රම්ප් මුලින්ම ප්‍රකාශ කළේ පසුගිය දෙසැම්බරයේ ය. මෙය අතිශය සාහසික තීරණයක් වන්නේ, ජෙරුසලම ඊශ්‍රායලයට අයත් බවට සහ, එනයින් එය පලස්තීනයට අයත් නොවන බවට වන ඊශ්‍රායල මතය මෙමගින් සනාථ වන හෙයිනි.
පලස්තීන විමුක්ති අරගලය තුළ නැගෙනහිර ජෙරුසලම හැඳින්වෙන්නේ ‘අනාගත පලස්තීන රාජ්‍යයේ අගනුවර‘ ලෙස ය.
ඒ අනුව ට්‍රම්ප් පලස්තීන විමුක්ති අරගලයට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන්ම විරුද්ධ වෙමින් ඊශ්‍රායලයේ දේශපාලන ඉලක්කය සමග සමපාත විය. එනම්, ඊශ්‍රායලයේ පිහිටා තිබෙන ඇමරිකානු තානාපති කාර්යාලය ජෙරුසලම තුළ ස්ථානගත කිරීම තුළින් ඇමරිකාව විසින් ජෙරුසලම ඊශ්‍රායලයට අයත් බිම් කඩක් බව රාජ්‍ය මට්ටමෙන් නිල වශයෙන් පිළිගැනීමකි.
අවසානයේ, ගතවූ මාස කිහිපය මුළුල්ලේ ජාත්‍යන්තර ප්‍රජාවෙන් සහ ජගත් සංවිධානයෙන් එල්ල වූ දැඩි විරෝධතා නොතකා වොෂින්ටනය ජෙරුසලම නගරයේ සිය ඇමරිකානු තානාපති කාර්යාලය විවෘත කළේය.
සුපුරුදු පරිදි ඇමරිකාවේ සිට ට්වීට් කළ, උද්දාමයට පත් ට්‍රම්ප්ගේ ට්වීට් පණිවුඩය මෙසේ ය. ‘‘අද දිනය ඊශ්‍රායලයට ශ්‍රේෂ්ඨ දවසකි“. “great day for Israel” ඔහු තානාපති කාර්යාලය විවෘත කිරීමට නොපැමිණි නමුත් වීඩියෝ පණිවුඩයක් ඒ වෙනුවෙන් එවා තිබිණි. එහිද ීඔහු පවසන්නේ තමන් ‘‘ඊශ්‍රායලයට, පලස්තීනයට සහ ඔවුන්ගේ සෙසු සියලු අසල්වැසියන් හට මිත්‍රත්වයේ දෑතක් දිගු කරන බව‘‘ ය. ‘‘සාමය ඇති වේවා!“ යැයි ද ඔහු පවසයි.
“a hand in friendship to Israel, the Palestinians and to all of their neighbours. May there be peace.”
මෙම තානාපති කාර්යාලයේ වැඩ භාරගත්, වොෂින්ටනයේ ඊශ්‍රායල තානාපතිවරයා වන ඩේවිඩ් ෆ්‍රීඩ්මන් ඇමරිකානු ධජය පින්තාරු කළ වේදිකාවක සිට මෙසේ කීවේය. ‘‘අද දිනයේ මේ ඓතිහාසික අවස්ථාව, අප විසින් අති දැවැන්ත සහ සදාකාලික ලෙස ණයගැති වන එක්තරා පුද්ගලයෙකුගේ දැක්ම, ධෛර්යය සහ පැහැදිලි දැනමුතුකම නිසා සිදුවූවක්. එම පුද්ගලයා තමයි, ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප්!“ මෙය අසා රැස්ව සිටි පිරිස නැගී සිට අත්පොළසන් දුන්හ. තානාපති කාර්යාලය විවෘත කිරීමට පැමිණ සිටියේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කා ට්‍රම්ප් ය. එම අවස්ථාවේදී එහි සිටි ඇමරිකානුවන් සහ ඊශ්‍රායල සම්භාවනීයන්ගේ අත්පොළසන් නාදය අතරින් පැතිර ගියේ පලස්තීනුවන්ට වෙඩි තබන ශබ්දයයි.
ඇමරිකාව මෙන්ම ඊශ්‍රායලය ද මේ ඝාතනය සම්බන්ධයෙන් දොස් පවරමින් සිටින්නේ පලස්තීනයේ හමාස් සංවිධානයට ය. පලස්තීනය පාලනය කරමින් සිටින්නේ හමාස් සන්නද්ධ සංවිධානය වෙත ය. හමාස් සංවිධානය මෙම මරණවල වගකීම ගත යුතු බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතනියාහු ප්‍රකාශ කරයි. සත්‍ය වශයෙන්ම හමාස් සංවිධානයට අවශ්‍ය වී තිබෙන්නේ පලස්තීනයේ නිජබිම් අයිතිය අහිමි කළ මුල් පදිංචිකරුවන් වන පලස්තීනුවන්ට නැවත එම භූමිය දිනා දීම ය. ගාසා තීරය, නැගෙනහිර ජෙරුසලම, පුරාණ නගරය යනාදී බොහෝ පලස්තීන භූමි 1967 සයදින යුද්ධයෙන් පසු පවතින්නේ ඊශ්‍රායලය අත ය. විශේෂයෙන්ම ගාසා තීරයේ සහ ජෙරුසලමේ මේ හේතුව නිසා ඊශ්‍රායල හමුදාව විශාල වශයෙන් ඒකරාශී වී සිටිති.
ඊශ්‍රායල හමුදාව කියන දේ
ඊශ්‍රායල ආරක්ෂක අංශ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇත. ‘‘කැරළිකරුවන් ආරක්ෂක වැට සහ ඊශ්‍රායල හමුදාව වෙතට පෙට්‍රල් බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය එල්ල කළා. ටයර් පුළුස්සමින්, ගල් ප්‍රහාර එල්ල කරමින් ඊශ්‍රායල භූමිය ගිනි තබන්නටත් හමුදාවට හානි කරන්නටත් උත්සාහ කළා.“
එම්මානුවෙල්ගෙන් දුරකථන ඇමතුම්
ඊශ්‍රායලය සහ ඇමරිකාව, මෙම පලස්තීන සංහාරය පිළිබඳ පලස්තීනුවන්ටම දෝෂාරෝපණය කරමින් සිටින අතරවාරයේ ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රොන්, පලස්තීන ජනපති මහමුද් අබ්බාස් සහ ජෝර්දානයේ දෙවන අබ්දුල්ලා රජු වෙත දුරකථන ඇමතුම් ලබාදුන්නේය. ‘‘ඊශ්‍රායල සන්නද්ධ හමුදා විසින් උද්ඝෝෂකයන් වෙත එල්ල කළ මෙම ප්‍රචණ්ඩකාරී ප්‍රහාරය‘‘ එහිදී ඔහු දැඩි සේ හෙළා දුටුවේය. ඇමරිකාවේ ඊශ්‍රායල තානාපති කාර්යාලය ජෙරුසලම වෙත ගෙන යාමට ට්‍රම්ප් ගත් තීරණය ද ඔහු තවදුරටත් විවේචනය කළේය.
බෑණා නොකියා කියන කතාව
මේ අතර ඩොලන්ඩ් ට්‍රම්ප්ගේ බෑණා වන ජරෙඩ් කුෂ්නර් මෙසේ කියා ඇත. ‘‘ගතවූ මාසයේ සහ අද දවසේ පවා අප දුටු විරෝධතා, මේ කුපිත කරවනසුලු ප්‍රචණ්ඩත්වය ගැටළුවේ කොටසක් මිස විසඳුමේ කොටසක් නොවේ.“ කෙසේ නමුත් ඔහු මෙයින් අදහස් කරන්නේ පලස්තීන ප්‍රචණ්ඩත්වය, ප්‍රචණ්ඩත්වයෙන්ම මර්දනය කළ යුතු බව ද යන්න පැහැදිලි නැත.
තුර්කිය සහ දකුණු අප්‍රිකාව තානාපතිවරුන් ආපසු කැඳවයි.
මෙම සිද්ධියට විරෝධය පෑමක් වශයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ සිටින සිය තානාපතිවරුන් ආපසු කැඳවන බව තුර්කිය ප්‍රකාශ කළේය. තුර්කි ජනාධිපති රෙසෙප් තායිප් එර්දොගන් ඊශ්‍රායලයේ හැසිරීම විස්තර කරන්නේ ‘සංහාරයක්‘ ලෙස ය.
දකුණු අප්‍රිකාව මේ වන විටත් සිය තානාපතිවරයා ව නැවත සිය රට කැඳවා ඇත්තේ ‘‘ඊශ්‍රායල සන්නද්ධ හමුදාව විසින් සිදුකළ ප්‍රචණ්ඩකාරී මර්දනය‘‘ හෙළා දකිමිනි.
අල් හුසේන් කුමරුගේ මතය
ජගත් සංවිධානයේ මානව හිමිකම් ප්‍රධානී සෙයිඩ් රාද් අල්-හුසේන් හෙවත් හුසේන් කුමරු ඊයේ සිදුවූ මෙම ම්ලේච්ඡ ඊශ්‍රායල් ප්‍රහාරය පිළිබඳ පැවසුවේ ‘‘මෙම සාහසික මානව හිමිකම් උල්ලංඝනයන් සිදුකළ අය වගකීමට යටත් කළ යුතු බව‘‘ ය.
කුවේට් රාජ්‍යය මෙම සිද්ධියෙන් අනතුරුව ජගත් ආරක්ෂක කවුන්සිලයෙන් හදිසි රැස්වීමක් ඉල්ලා සිටියේය. පසුව ප්‍රංශ පුවත්සේවාව වාර්තා කළේ ඇමරිකා එක්සත් ජනපදය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.
“Make Israel Great Again!!”
මේ අතර ඇමරිකානු ජනාධිපතිවරණයේදී ට්‍රම්ප්ගේ තේමා පාඨය වූ “Make America Great Again”- ඇමරිකාව නැවත ශ්‍රේෂ්ඨ කරමු‘ යන්න මේ වන විට ඊශ්‍රායලයට ද බෝ වී ඇත. ඇමරිකානු තානාපති කාර්යාලය ජෙරුසලම වෙත ගෙන ඒමෙන් උද්දාමයට පත් ව සිටින ඊශ්‍රායල යුදෙව්වන් ද මේ වන විට “Make Israel Great Again” යැයි තොල් මැතිරීමට පටන් ගෙන ඇත. ජෙරුසලම නගරයේ පිහිටා තිබෙන යුදෙව් ගොඩනැගිලිවල ද මේ වන විට ඇමරිකානු ධජය ඔසවා ඇති ආකාරය දැකගත හැක.
- අමාලි ජයවීර
0 comments :
Post a Comment