ගාල්ලේ අනවසර ඉදිකිරීම් ඉවත්කරන්න අගමැතිගෙන් නියෝගයක්.




ගාලු උරුමයට හානිකර සියලු අනවසර ඉදිකිරීම් ඉවත්කරන ලෙසත් කොටුවේ ඇති සියලුම රාජ්‍ය ආයතන කඩිමින් එම ස්ථානවලින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කළේය.

අග්‍රාමාත්‍යවරයා මේ නියෝගය කළේ ගාල්ල කොටුව ලෝක උරුමයේ අනවසර හා නොගැලපෙන ඉදිකිරීම් සම්න්ධයෙන් තීරණ ගැනීම සඳහා ගාල්ල සමුද්‍ර කෞතුකාගාර පරිශ්‍රයේ ඊයේ  (24) සවස පැවැති රැස්වීමක දී ය.

අගමැතිවරයා එහි දී මෙසේ ද කීවේය.

''ගාල්ලට නව නගර සැළැස්මක් යෝජනා කරලා තියෙනවා. සංචාරක කර්මාන්තය ඉලක්ක කරගෙන ලෝක උරුමය ආරක්ෂා කරගනිමින් මේ සංවර්ධන සැළසුම් ක්‍රියාත්මක විය යුතුයි. එක් එක් ආයතනවලට අවශ්‍යවලට ඉදිකිරීම් කරන්න බැහැ. රජයේ ආයතන වුණත් නගර සැළැස්මට අනුව ඉදිකිරීම් කළ යුතුයි. සියල්ල එක් සැළැස්මකට අනුව ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් අනවසර ඉදිකිරීම් නිසා ඒවා ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගත යුතුයි. එක් එක් ඉදිකිරීම්වලට වෙන වෙනම නීති තිබෙන්න බැහැ."

මෙම රැස්වීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා, තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා, තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතා, ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා ඇතුළු මැති ඇමැතිවරු රැසක් සහ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment