කන්න බැරි හාල් පොලිෂ් කර විකුණන ඉපලෝගම වී මෝල

මිනිස් පරිභෝජනයට නුසුදුසු සදු කැකුලු සහල් තොගයක් නැවත ඔප දමා සතොසට අයත් ඇසුරුමුවලම ඇසුරුම් කිරිමේ ජාවාරමක් ඉපලෝගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් ඉකුත් 20 වැනි දින රාත්‍රියේ ඉපලෝගම් අලුත් ගන්තිරියාගම ප්‍රදේශයේ දි හෙළි කරගෙන ඇත.
ජාවාරමේ නිරත වූ දෙදෙනකු හා වී මෝලේ තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් ද එහිදී සෞඛ්‍ය බලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණු අතර එම වී මෝලට සෞඛ්‍ය බලධාරින් විසින් මුද්‍රා තබා ඇත.

ඉපලෝගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එස්.එම්.ඩී.එන්. ප්‍රේමරත්න මහතාට ලද තොරතුරක් අනුව ඒ මහතාගේ ප්‍රධානයෙන් යුතු මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී එම සහල් තොගය සොයා ගැනීමට හැකිවිය.

සහල් තොගය ඉපලෝගම අලුත් ගන්තිරියාගම ප්‍රදේශයේ පෞද්ගලික වී මෝලක දී යළි ඔප දැමීමත් ඒවා නැවත සතොස ඇසුරුම් වල ඇසුරුම් කිරීමත් සිදුකෙරෙමින් පැවැතින. මෙලෙස යළි ඔප දැමීමට රැගෙනවිත් තිබූ සහල් තොගය කිලෝ විසි දහසකි. සහල් තොගයෙන් කොටසක් ඒ වනවිටත් යළි ඔප දමා සතොස ඇසුරුම්වල ඇසුරුම් කර තිබූ අතර

එම ඇසුරුම්වල කල් ඉකුත් වීමේ දිනය 2020 ජනවාරී ලෙස සටහන්ව තිබිණ. ඔප දැමීමට සූදානම් කර තිබූ තවත් සහල් තොගයක් ද එහි ගබඩා කර තිබිණ.
පෞඛ්‍ය බලධාරීන් විසින් අත්අඩංගුවට ගත් එම
සහල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දොළහකට් ආසන්න බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

මෙම වැටලීමට පෙර දිනයේ එලෙස යළි ඔප දමා නැවත ඇසුරුම් කළ සහල් කිලෝ පන්දහසක් වෙළඳපොළට නිකුත් කිරීමට සූදානම්කර තිබූ බව මූලික විමර්ශනවලදී අනාවරණය කර ගැනිණ. සැකකරුවන් සතු ලිපි ලේඛනවලට අනුව අදාළ සහල් තොගය කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි සතොස ගබඩාවකින් නිකුත් කර ඇත්තේ මෙම වසරේ අප්‍රේල් මස 04 වැනි දිනය. අකුරණ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකුගේ සහය ඇතිව මහනුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් එම සහල් තොගය මිලදී ගෙන තිබිණය. පසුව එම සහල් තොගය මහනුවර ප්‍රදේශයේ ගබඩාවක කලක් ගබඩා කර තබා පසුව යළි පිරිසුදු කිරීම සඳහා මින් දින කිහිපයකට ඉහතදී ඉපලෝගම අලුත් ගන්තිරියාගම ප්‍රදේශයේ පිහිටි වී මෝලකට රැගෙනවිත් තිබිණ.

මිනිස් පරිභෝජනයට නුසුදුය රුපියල් ලක්ෂ දොළහක් පමණ වටිනා එම සහල් තොගය ගබඩා කර තිබූ එම වී මෝලට 20 රාත්‍රියේදීම මුද්‍රා තැබීමට ද මහජන සෞඛ්‍ය පරීක්ෂක කටයුතු කළහ.
අත්අඩංගුවට ගත් සැකකරු සහ සහල් තොගය. පෙරේදා (21) කැකිරාවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. ඉපලෝගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එස්.එම්.ඩි.එන්. ප්‍රේමරත්න මහතාගේ මෙහෙයවීම යටතේ ඉපලෝගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිශාන්ත කරුණාතිලක මහතා ද මහජන සෞඛ්‍ය පරිකවරුන් වන ජේ.එම්.ඒ.පී.කේ. රණසිංහ හා දිමුතු රණසිංහ, රියැදුරු චන්දන කුමාර ඇතුළු නිලධාරීන් පිරිසක් අදාළ වැටලීම සිදුකළහ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment